Friday, December 31, 2010

මෙය ක‍ඩවෙන්නා වූ පොරොන්දුවක් නම් නොවේ!


‍හෙටින් නව වසරක් ඇරඹෙයි. අද 2010 වසරේ අවසන් දිනයයි.

1895 වසරේ දෙසැම්බර් මස 28 දින ඇරඹි ලෝක සිනමා ගමනට අද‍ට වසර 115කුත් දින 03කි! කාලය ඉක්ම යමින් පවතී. ලුමියේ සොයුරන්ගේ මුල්ම චලන රූ අතරින් ආ දුම්රිය දුටුවන් ලෙස අපි අද සිනමා රුවට බියේ පැන නොදුවන්නෝ වෙමු. සිනමාව වූ කලී ප්‍රබල සමාජ කතිකාවක් බවත්, තත්කාලීන වින්දන මාධ්‍යයන් අතර එය ප්‍රමුඛ බවත් අපි දනිමු.

ලෝක සිනමා උළෙලක හොඳම චිත්‍රපටය වීදියේ සී.ඩී. වෙළෙන්දා ළඟ රුපියල් 100යට හමුවද්දී, එම කෘතියම වෙබ් අවකාශ වලින් ලොවටත් හොරා අපේ පරිගණකයට බාගත වෙද්දී, මෙරට ශාලාවට ඒමට පෙර එහි 'අසභ්‍ය' දර්ශන වර්ග කිරීමට දුවන සභ්‍යත්වයේ මහත්වරුන්ද වන බව අපි දනිමු. මුදල් නොමැතිමුත්, සිය ජංගම දුරකථනයෙන් හෝ ආත්ම ප්‍රකාශනයට ඉඩ සොයන තරුණ සිනමා 'පිස්සන්' ද ව‍ටපිටාවේ දී හමුවන අතර පාඨමාලා අතර නව සිනමා දැනුම සොයන්නන්ද, සිනමා දැනුම 'බෙදන්නන්'ද අප‍ට හමු වේ.

සරල බසින් නම්, සිනමාව හැම තැනමය. විශ්වවිද්‍යාලයේ සිට කඩ වීදිය දක්වාත්, ජංගම දුරකථනයේ සිට අන්තර් ජාලය දක්වාත් සිනමාව හමුවේ. චිත්‍රපට සංස්ථාවේදී පමණක් සිනමාව හමුවන්නේ අවමයෙනි!

අද මම සිනමා කතිකාව අරඹමි. ඩොලර් බිලියන ගණනින් මුදල් සැරිසරන, ක‍ඩවසම් තරුණයින් හා සරාගී තරුණියන් හමුවන, ජීවිතය සොයා සිනමා අභිනික්මන‍ට බට අපූරු අධ්‍යක්ෂවරුන් වෙසෙන සෙලියුලොයිඩ් ලොව පිළිබඳ අපි සාකච්ඡා කරමු.

එය කඩ නොවන පොරොන්දුවකි.

No comments:

Post a Comment