Saturday, May 26, 2012

සිනමාව: අප අතරම

ඒ 1895 වර්‍ෂයේ අවසන් මාසයයි. ඉතා කුඩා පිරිසක්, ප‍්‍රංශයේ, පැරිස් නුවර, ග‍්‍රෑන්ඞ් කැෆේ නමැති හෝටලයට එක් රැස් වී උන් හ. ඔගස්ටස් හා ලූවී ලූමියේ සහෝදර දෙපළගේ ඇරයුමෙන් ඔවුන් පැමිණ සිටියේ ලෝකයේ පළමු ‘චලන චිත‍්‍ර’ පෙළ දැක ගන්නට ය. ස්වල්ප මොහොතකින්, ඉදිරියේ වූ, කිසිවක් නොතිබූ ද්විමාන තිරයකින් මතුවූ ලූමියේ සොහොයුරන්ගේ ෆැක්ටේරි දොරටුවෙන් පිටවන මහ සෙනග හේතුවෙන් ඔවුන් තැති ගත්තද, මතුව ආ දුම්රිය හේතුවෙන් බියට පත් වූවද, තමන් මේ දකිමින් ඉන්නේ ඉදිරි සියවසේ ලොව ආකර්ශණීයම කලාවේ උපත බව හඳුනාගත් එක් අයෙකු හෝ වූ එහි වූ බවට නම් සාක්ෂි නැත.


අද, කුඩා පිරිස් ලෙස හෝ මහ පිරිස් ලෙසද, නොඑසේනම් තනිවම ද අපි ‘චලන චිත‍්‍ර’ නරඹමු. කාලයත් සමග ‘චලන චිත‍්‍ර’, ‘චිත‍්‍රපට’ බවටත්, අනතුරුව ‘සිනමාව’ බවටත් පත්ව ඇත. අද සිනමා තිරය යනු තව දුරටත් අප බියපත් කරවන්නක් නොවේ. දුම්රිය පමණක් නොව අහසේ සරන අද්භූත යානා, ඉගිල්ලෙන මිනිස්සු, හොල්මන් හා අවතාර, පිට සක්වල ජීවීන් තිරය මතදී අපට හමුවේ. එහෙත් ඒ හුදෙක්ම සිනමා තිරය මත ඇඳෙන රූප පෙළක් පමණක්ම බව අපි හොඳින් දනිමු.

සිනමාව තව දුරටත් අප බියපත් කරන ඉන්ද්‍රජාලයක් නොවේ. එය අප අතරම පවතින්නකි; අප සමග ගනුදෙනු කරන්නකි. එදිනෙදා දිවියේ අනේක විධ සබඳතා අතර සිනමාව හා පුරවැසියා අතර සබඳතාව ප‍්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නකි. අද අප සිනමාපට නරඹන්නේ සිනමා ශාලාවකින් පමණක් නොවේ. වී.සී.ඞී. හෝ ඞී.වී.ඞී. තැටි ලෙස ලබා ගනිමින්ද, රූපවාහිනී නාලිකා හරහා කෙරෙන දර්ශන මගින්ද සිනමා පට අපට හමුවේ. හොලිවුඩයේ හෝ බොලිවුඩයේ, ලක්‍ෂ ගණනින් මුදල් වැය කර සෑදූ සිනමා පටයක් කොළඹ හෝ ප‍්‍රධාන නගරයක පදික වේදිකාවේ රුපියල් 50කට හෝ 100කට විකිණීමට තබා තිබෙනු දැකිය හැක.

පදික වේදිකාවෙන් මිළට ගත්තද, රූපවාහිනී නාලිකා හරහා හමුවුවද වඩා වැදගත් වන්නේ සිනමාව නිසි ලෙස වටහා ගැනීමයි. අපි අතරම සැරිසරන අයෙකු නිසි ලෙස වටහා නොගැනීම අපටම හානිකර වන හෙයින් එම හඳුනා ගැනීම ඉතා වැදගත් වනු ඇත. එසේ නම් ඒ කවර අයුරකින්දැයි දැන් විමසා බලමු.

සිනමාව අප අතරම හමුවන එක් ප‍්‍රධාන කරුණක් වන්නේ එය ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රධාන අංගයක් වීමයි. ඉන්දීය තරුවක ඇඳුම් රටාව අපේ තරුණ තරුණියන් අතරේ ජනපි‍්‍රය වීමේ සිට අපේ ඇගයුම් තීරණය කිරීම දක්වා මෙය දැන් විහිදෙයි. අප මෙය වටහා ගත යුතුමය. සිනමාව හරහා එන සංස්කෘතිය හා නිසි ලෙස ගණු දෙනු කළ හැක්කේ එවිට ය.

සිනමාව මහා පරිමාණ නිෂ්පාදනයක් බවත්, එහි ගැණුම්කරුවෝ අප බවත් වටහාගත් විට වෙළඳපලෙන් උචිත යමක් මිළදී ගන්නා ලෙසම අපට හොඳ චිත‍්‍රපටයක් සොයා ගත හැකි වනු ඇත. එසේම සිනමාව හරහා කෙරෙන සමාජය පිළිබඳ කතාබහ වටහා ගන්නට යත්න දරත්ම අපට සමාජය හෙළි වනු ඇත; ඒ හරහා ගෙන එන මතවාද වැටහෙනු ඇත.

සිනමාව ප‍්‍රබල කලා මාධ්‍යයකි. ඉහළින්ම වැජඹෙන වින්දන මාධ්‍යයකි. චිත‍්‍රය, නර්තනය, සංගීතය ආදියට වඩා මෙය අපි අතරම සරන්නක් හෙයින් මනාව හඳුනාගත යුතු ය. නොඑසේනම් අප අසරණ වන හෙයිනි.