Saturday, August 10, 2013

බලාගෙන...!



කුඩා දිනවල මා මහමගට බැස පාසැලට හෝ වෙනයම් තැනකට යන්නට යන විට දෙමාපිය, වැඩිහිටියෝ මට මෙසේ කීහ.

“පරිස්සමින්... පාරෙ යන්නෙ බලාගෙන...! වාහන එනව...“

මා කොතරම් ප්‍රවේශමකින් මහමග ගමන් කළත් මග යනෙන වාහන පිළිබඳ කිසිදු වැඩිහිටියකු තුළ විශ්වාසයක් තිබුණේ නැත. හිටි අඩියේ, තක්කඩි රියදුරකුගේ නොසැලකිලිමත් රිය පැදවීමකින් මාහට අනතුරක් වනු ඇතැයි යන බිය ඔවුන් තුළ තිබෙන්නට ඇත. ඒ සිතුවිල්ලේ ඇති වරදකුත් නැති බව මා හට හැඟී ගියේ කලින් කලට, කාගේ හෝ හිස මතින් ධාවනය වූ රථයක් නිසා සිදුවුණු බිහිසුණු අනතුරු ගැන අසන්නට, දකින්නට ලැබුණු නිසා ය. එනිසා මම මගමග ඇවිද්දේ ම ‘බලාගෙන‘ ය. මේ ‘බලාගෙන‘ යාමෙන් ඇතිවන අමුතු ගැලවිල්ලක් නැති බව නම් කල්යත්ම මට වැටහෙන්නට විය. හිස මතින් කරණම් ගසන්නට පියඹා එන දැවැන්ත රථයක් සමග ‘බලාගෙන‘ ගිය පමණින් මා කුමන සටනක් කරන්න ද? රියදුරන් ශිෂ්ඨ සම්පන්න නැති විට මගේ ‘බලාගෙන‘ යාම කිසිදු පදනමකට නැති වැඩකි.
 
නමුත් අපට මහමගට බැස නොගොස් සැඟවී සිටින්නට නොහැක. අප කළ යුතු දේ රැසකි. යා යුතු ගමන් රැසකි. 

මේ ‘බලාගෙන‘ යන වචනය මගේ දෙසවනට යළි ඇසෙන්නට ගත්තේ ඊයේ පෙරේදා සිට ය. ඒ මම මහමගට බසිද්දී නොවේ. ලියන්නට ගනිද්දී ය. ‘ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම‘ ලියූ මොහොතේ පටන් බොහෝ දෙනෙක් යළිත් නමුත් රහසින් ඒ වචනය මගේ සවනේ තැබී ය.

‘බලාගෙන...!“

දැන් මා බලාගත යුත්තේ කුමක් ද? මහා තඩි ලොරියකින් හෝ බස්රියකින් ගැලවී පාරේ අදාල ඉලක්කයට යන සැටි ද? නැත. මේ නොකියා කියන්නේ ‘වැඩක් බලාගෙන පාඩුවේ ඉඳිං‘ කියා ය. ‘උඹට අදාල නැති දෙයට කට දාන්න ගිහින් වැඩේ අනාගන්න එපා‘ කියා ය. ‘ඔළුව බේරාගනින්‘ කියා ය. කොටින්ම කිවහොත් රටේ අනිත් බොහෝ දෙනෙකු මෙන් ‘දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳිං‘ කියා ය.

එයින් ද නොනැවතුණු බිහිසුණු බවක් මේ ‘බලාගෙන‘ වචනයෙහි රැඳී ඇත. පුංචි කාලයේ මහමගදී ලොරියකින්, බසයකින් ගැලවුණත් නොගැලවිය හැකි අනතුරක් ගැන සඳහනකි,ඒ. ‘සිඩ්නි සිතුවිලි‘ නමැති බ්ලොග් අඩවිය ලියද්දී නොකියවුණු මෙම ‘බලාගෙන‘ වචනය දැන් මවෙත කියන්නේ මාහට ආදරයක් ඇති නෑසියන්, මිතුරන් ය. ‘බලාගෙන‘ ලිවිය යුතු, කිව යුතු දේ ඇති බව ඔවුහු මට මතක් කර දෙති. 

රියදුරන් ශිෂ්ඨ සම්පන්න වන තුරු මගට නොබැස ගෙදරට වී සිටින්නට නොහැකිවා මෙන්ම ‘බලාගෙන‘ වචනය නොකියවෙන දවස එන තුරු ලිවීම නවත්වන්නට බැරි ය. ‘ඉගිල්ලෙන මාළුවෝ‍‘ වෙත අල්ලන ඉලක්ක, රතුපස්වල දී සැබෑ උණ්ඩ වී තරුණ හිස් පසා කරගෙන යද්දී ‘බලාගෙන‘ සිටීමෙන් ඇති පලක් නැත. මා මේ විදේශයක සිටින්නේ දේශීය විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීන්ට අනාගතයේ දිනක දැනුම සපයන්නට සොයා ආ දැනුම් ගවේෂණ මගක හෙයින් ‘මගේ වැඩ බලාගෙන‘ යළි සිය රට ගොස් හෙමින් සීරුවේ රස්සාව කර, මගේ කොටස ඉටු කළ නොහැකි දැයි කෙනෙක් අසන්නට ඉඩ ඇති මුත් රතුපස්වලදී මිය ගිය අකිල හෙට මගේ විශ්වවිද්‍යාලයට එන්නට සිටි තරුණයෙක් නම් මගේ ඒ ඉඳිල්ලෙන් ඇති ප්‍රතිඵලය කුමක් දැයි මට යළි අසන්නට සිදු වෙයි.

නිහඬව සිටින තෙක් අපේ හිස් බේරෙන්නේ ය යන තර්කය දැන් දැන් පදනම් විරහිත බව ඔප්පු වෙමින් පවතී. 
විශ්වවිද්‍යාල ආචාර්යවරු අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කරන්නැයි කියා පෙළපාලි යද්දී, අධ්‍යාපනයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා කියද්දී ඒ අපේ වැඩක් නොවන බව සිතූ සෙස්සෝ තමන්ගේ වැඩ ‘බලාගෙන‘ පාඩුවේ උන් හ. වසර අවසානයේ නව වසරට දූ පුතුන් පාසැල් දමන්නට යද්දී ඒ කීවේ අපේ දෙයක් බව ඔවුන්ට වැටහී ගියේ ය. අවසානයේ උන් පැමිණ ගුරුකම දණගස්වා අධ්‍යාපනයට ‘කෝචොක්‘ දමා ගිය හ. 

අගවිනිසුරුවරිය ගෙදර යවමින් නීතියේ ස්වාධීනත්වය බිඳ දමද්දී, නීතීඥවරුන් ඊට එරෙහි වන විට ඒ අපේ වැඩක් නොවන බව සිතූ සෙස්සෝ තමන්ගේ වැඩ ‘බලාගෙන‘ පාඩුවේ උන් හ. බරපතල වැරදි කළවුන් විශේෂ සමාවන් යටතේ පැමිණ යළි පාතාලයන් රජ කරවන්නට වූ විට  ඒ කීවේ අපේ දෙයක් බව ඔවුන්ට වැටහී ගියේ ය. 

මේ ‘බලාගෙන‘ ඉඳිල්ල අනුව නම් කටුනායක මියෙන්නේ, පහර කන්නේ සන්නාලියන් මිස අප නොවන බවත්, හලාවත වෙඩි කන්නේ ධීවරයන් මිස අප නොවන බවත් හිතෙනු ඇත. එහෙත් දැන් සියල්ල ගේ දොරකඩ ය. වැඩි පඩි, අඩු මිළට පෙට්‍රල් වෙනුවට බීමට පිරිසිදු ජලය ඉල්ලන්නටත් නොහැකි ය. ප්‍රකාශන නිදහස ඉල්ලනු තබා බොන වතුර නැතිකමට පාරට බසින්නටත් නොහැකි ය.

ඉතින් ‘බලාගෙන‘ ඉන්නට හැකි ද?

රියදුරන් ශිෂ්ඨ සම්පන්න වෙන තෙක් එදා අපි මහමගට නොබැස්සේ නම් තක්කඩි රියදුරන් පදික වේදිකා මත ද කරණම් ගසා හිතු මනාපයට ජෝගි නටන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. එහෙත් මග යනෙන ජනයා නිසා ඔවුන් තුළ ද යම් සඳහනක් තිබෙන්නට ඇත. 

ඒ ‘බලාගෙන‘ යන්න ය! ‘බලාගෙන‘ රිය පැදවිය යුතුය යන්න ය.

අප ලියන්නට ගතහොත්, විමසන්නට, සොයන්නට ගතහොත්, ඒ දකින අසන රට පදවන ‘රියදුරන්ට‘ සිතූ මනාපයට කරණම් ගසන්නට, වෙඩි තබන්නට ඉඩ නොලැබෙනු ඇත. ‘පාන් නැත්තං කේක් කාපල්ලා‘ ආකාර කතන්දර කියන්නට නොසිතෙනු ඇත. ‘වතුර නැත්තං වෙඩි කාපල්ලා‘ නොකියනු ඇත. හේතුව ඔවුන් පදවන මහමගට අපද අවතීර්ණ වී සිටිනා හෙයිනි.

මහමග යන රියට බයෙන් ගස් උඩින් පැන ගොස් ‘අර කාර් එක සෝක් එකට කරණං ගහනවා‘ වැනි විකාර කතන්දර අපට කියන්නට නොහැකි ය. එසේම රතුපස්වල වෙඩි උණ්ඩ ගැන ද, ‘මේක තුන්වන පාර්ශවයක වැඩක්‘ වැනි අප්‍රභංශ ලියන්නට ද නිසි මග යන්නාට නොහැකි ය.

‘බලාගෙන‘ යා යුතු බව සිතිය යුත්තේ අප නොවේ. සුක්කානම දරා සිටින ඔවුන් ය. ඔවුන් පදවන ආකාරය බලන්නට අප මග දෙපසම රැඳෙන බව කී විට ඔවුන් තමන් වෙතම මේ ලෙස කියා ගනු ඇත.

‘බලාගෙන...!‘ 

රූපය -  http://farm4.staticflickr.com/3051/2575203700_a0536b5fac.jpg

2 comments:

  1. බලාගෙන....වෙනසක් උදාවිමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි

    ReplyDelete