Saturday, August 17, 2013

අත්තනායක මොඩල්



සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නටත් පෙර සිදුවුණු දෙවැනි ජවිපෙ කැරැල්ල ගැන මට මහා ලොකු මතකයක් නැත. දිග කාලයක් පාසැල් නොගොස් ගෙදරට වී උන්නු සමයේ මහවැලි ගඟ දිග පාවී ආ තරුණ මළ සිරුරු බලන්නට  වැඩිහිටියෝ අපට අවසර දුන්නේ නැත. එහෙත් රෑට රෑට වෙඩි සද්දත්, දවල් කාලයේ මළ කඳන් ගැන කතන්දරත් ගෙනා ඒ භීෂණ සමය නිමා වුණේ උලපනේ නිවසකින් අත්තනායක කෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ය. ජවිපෙ නායකයා වුණු රෝහණ විජේවීර, අත්තනායක නමින් නම් වෙනස් කරගෙන උලපනේ නිවසක ව්‍යාපාරිකයකු ලෙස සැඟව සිටිය දී අත් අඩංගුවට ගෙන තිබිණි. ජාතික රූපවාහිනියේ සිදුවුණු ‘මේ ඒ විජේවීර දැයි‘ සැක හිතෙන තරමට වෙනස් ‘අත්තනායක‘ කෙනෙකුගේ ප්‍රකාශ නිකුත් කිරීමකින් පසු අත්තනායකත් විජේවීරත් යන දෙදෙනාම අතුරුදහන්ව ගියේ ය.

අත්තනායකගේ (හෙවත් විජේවීරගේ) මරණින් පසු ඔහු ගෙන ආ දේශපාලන දැක්ම ජනතාවට අමතකව ගියත්, ඔහුගේම අනුගාමිකයන් ‘උඩු කුරුඤ්ඤං‘ කරණමින් ඔහුගේ දේශපාලන දැක්මට විරුද්ධ මත තිබුණු තැන්වල හිටගත්තත් සාමාන්‍ය ජනතාව අතර අමතක නොවුණු එකම එක් දෙයක් ඉතිරි විය. ඒ ‘අත්තනායක මොඩල්‘ නමින් ප්‍රසිද්ධියට පත්වුණු, උලපනේ අත්තනායක පාවිච්චි කළා යැයි කියූ මෝටර් රථ විශේෂයයි. විප්ලව දෙකකට නායකත්වය දෙන්නට ගිය නායකයකු පිළිබඳ ප්‍රධානම, නොවරදිනම ස්මාරකය වූයේ මේ මෝටර් රථයයි.

දැන් වසර විසි ගණනකට පසු ‘අලුත් අත්තනායක මොඩලයක්‘ අපට හඳුනාගන්නට ලැබී ඇත. ඒ ‘මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙකි!‘ කියමින් දොරමඩලාවේදී සහ ස්වර්ණවාහිනී බණ වැඩ සටහන්වලදී ඇඳි සිල් රෙද්ද යට ඇති පිහිය පෙන්වන අත්තනායක මොඩලයයි. මුගලන් හාමුදුරුවෝද චණ්ඩියෙක් නිසා අත්තනායකලාට ‘පාට්‘ වචන සමාජ ගත කරන්නට හෝ එසේ පාට් දමන චණ්ඩි මොඩල්වලට තෙල් ගසා දෙන්නට ඇති හැකියාව ඉහළ ය. පිළිගත හැකි බවින් ද වැඩි ය. පාට් දමන්නට වැඩබිමට චණ්ඩි බස්සන්නේ චණ්ඩි රජා බැවින් ‘බුදු හාමුදුරුවෝද චණ්ඩියෙක්ම ය‘ කියා අත්තනායක ඇවිත් හෙට දොරමඩලාවේ දී ලයාන්විතව කියා යන්නට ද බැරි නැත.  

මියගිය උලපනේ අත්තනායකගෙන් පසු අත්තනායක මොඩල් කාරය ප්‍රසිද්ධ ව තිබිය දී කරළියේ මුගලන් චණ්ඩි හාමුදුරුවෝ ගැන කියා සිටි අලුත් අත්තනායක මොඩලය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. ඒ සිංහල පිළිබඳව ය. වැඩිමනත්ම සිංහල සාහිත්‍යය ගැන ය‍.

මාද වාඩි වී සිටි සිංහල දේශනවල සිසු සිසුවියන්ගේ ‘ආදරණීය අත්තනායක සර්‘ ලයාන්විතව ගෝර්කි සහ චෙකෝව් ගැන කීවේ ය. සමාජ සත්තා යථාර්ථවාදය ගැන කියමින් සිසුවියන්ගේ ඇස්වලින් කඳුළු වැට්ටුවේ ය. ‘අත්තනායක සර්‘ අපේ දේශනවලින් අයින් කරන්නට යන්නේය යන ආරංචි මාත්‍රය ඇසුණු විගස සිංහල දෙපාර්තමේන්තුව අසළට පැන අරගල කරන්නට තරම් මේ කඳුළු කැඳවන ආකර්ශණීය බව ඉහළ විය. 

කලින් කලට අත්තනායක සර් අලුත් අලුත් මොඩල් ළමයින්ට ඉගැන්නුවේ ය. සරසවියේ දී ගෝර්කිලාගේ මොඩලය ගැනත්, සමාජ සත්තා යථාර්ථවාදය ගැනත් කියූ ඔහු රූපවාහිනියේ දී කුටුම්භ සුරැකුම, යහපත් ජීවිතය, ධාර්මික ජීවිතය ආදී අට අනූවක් දේ ගැන මොඩල ඉදිරිපත් කළේ ය. සරසවියේ සිසු සිසුවියන්ගේ කඳුළ සමාජයේ උපාසකම්මාලා වෙත භාර විය. නියමිත දේශනවලට සර් ආවත් නැතත් සමාජයේ මොඩල තැනීම අතින් තිබූ ජනප්‍රිය බව නිසාම කිසිවකු කතා කළේ ද නැත. 

මේ ජනප්‍රිය කතා පිළිබඳ කසුකුසු බොහෝ තිබුණද මාහට හිසේ අත ගසා ගන්නට වූයේ පේරාදෙණියේ සිසු දෙපළක් රුසියානු නවකථාවක් වූ ගුරු ගීතය ඇසුරින් නාට්‍යයක් නිපදවන්නට මුහුරත් උළෙලක් පැවැත්වූ දිනයේ ය. අයිත්මාතව්ගේ රුසියානු කතාව සිංහල වේදිකාවට ගෙන එන්නට තිබූ මුහුරතෙහි ප්‍රධාන ආරාධිතයා අත්තනායක සර් විය. ඔහු එදා පහත කරුණු කීවේ මගේ කණ්වලට ඇසෙන්නට ය.

“මේ කතාව, ඒ කියන්නෙ විංගීස් අයිත්මාතව්ගෙ ගුරු ගීතය නවකතාව කියවපු අපේ කාලෙ හැම කොල්ලෙක්ටම ඕන වුණා දුයිෂෙන් කෙනෙක් වෙන්න. හැම කෙල්ලෙක්ටම ඕන වුණා අල්තීනායි කෙනෙක් වෙන්න. හැමෝගෙම අත්පොතක් වුණා වින්ගීස් අයිත්මාතව්ගෙ ගුරුගීතය! 

මේක එදාටත් වඩා අදට ගැලපෙනව. අද ළමයි කැම්පස් එන්න කලින් ගමේ හාමුදුරුවන්ට, වැඩිහිටියන්ට වැඳල ඇවිත් ආපහු හැරෙන්නෙ ඒ ගොල්ලන්ට පයින් ගහන්න බලාගෙන. මේ ගුරු ගීතය ඒකට හොඳ උත්තරයක් දෙනව. නගරයට ගිහින් මහාචාර්යවරියක් වෙලා ගමට එන අලතීනායි සුලෙයිමානොවා හොයනව දුයිෂෙන් ගුරුතුමා ව. ඔහු ඒ වෙනකොට ලියුම් බෙදනව. ඉස්කෝලෙටත් ලියුම් බෙදල  යන්න ගිහිල්ල. අල්තීනායි මහාචාර්යවරිය දුවල ගිහින් එක්ක එනව තමන්ගෙ ගුරුතුමා වුණු දුයිෂෙන්ව. ඒ කරල ඉන්දනව මුල් පුටුවෙ. මෙන්න ගුරුතුමනි ඔබට හිමි තැන කියල“

චින්ගීස් අයිත්මාතව් වින්ගීස් වී තිබුණේත්, අල්තීනායිට කරන්නට හමුවන්නට නොහැකි වුණු දුයිෂෙන් මුල්පුටුවේ හිඳුවා තිබුණේත් අත්තනායක සර් ය. සභාවේ කිසිදු හාහෝවක් නොවූයේ වෙනත් බොහෝ ආචාර්යවරුන් මෙන්ම සිසු පිරිස් ද ගුරු ගීතය අතින්වත් අල්ලා නොතිබූ හෙයිනි! 

චිංගීස් (විංගීස් නොවේ!) අයිත්මාතව්ගේ ගුරු ගීතයේ අල්තීනායිට දුයිෂෙන් මග හැරෙන්නේ පහත දැක්වෙන පරිදි ය.

“අස්ථිර ලෙස හිස එසවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවේලේම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේ ය.

“මම එයාට එන්න කිවුවා. ලියුම් බෙදන්න තියෙනවය කියල එයා ගියා.“
“ඔහෙ ගිහින් බෙදපුවාවෙ. නවත්තන්න උවමනා නැහැ. ...“
                                                                         - ගුරු ගීතය - 11 පිට -

කිසිවක් නොකියවූ සභාවක් ඉදිරිපිට ඕනෑම බොරුවක් නොබියව කිව හැකි බව අත්තනායක සර්ලා දනී. ඕනෑම මොඩලයක් ඇත්ත කර පෙන්විය හැකි බව ද දනී. පේරාදෙණි සරසවියට වඩා ‘දොරමඩලාව‘ සරසවියට ඔහු කැමති ඒක ය. මොඩල් පෙන්වන විට බලන්නට රටම හරි බරි ගැහෙයි. දොරමඩලාව සරසවියකැයි කියා හසන්ත කියූ විටම පිළිගන්නා ජනතාව සූරියප්පෙරුමලාගේ කියුම් කෙරුම් ආදිය සිහිකොට සාදුකාර දී අත්තනායක මොඩල් අසන්නට ගනියි.

මුගලන් හාමුදුරුවෝ චණ්ඩියෙක් ද නැද්ද යන ගැටළුවට වඩා අප සොයන්නට ඕනෑ අත්තනායකලාගේ මුගලන් මොඩලය කුමක් ද කියා ය. මුස්ලිම් විරෝධයක් නැගෙද්දී, විවිධාකාර බල සේනා ආයුධ මුවහත් කරද්දී, රතුපස්වල මළගෙවල් නිමා වී දානමාන පින්කම් කෙරෙද්දී මේ මොඩල්වල අවශ්‍යතා තේරුම් ගන්නට හැකිවනු ඇත. 

මේ අත්තනායකලාගේ සිල් රෙදි යට චණ්ඩි කතා හඳුනාගත යුතු කාලයයි. රට විනාශ වෙද්දී ඒ රකින්නට නම් චණ්ඩි මුගලන්ලා එන එකක් නැති නිසා ය.

සේයාරුව -  http://www.yiparts.com/2008/pic/modelpic/MITSUBISHI/LANCERIIIStationWagonC1VC3V/2008aug01-489277c1188a9.jpg

11 comments:

  1. ප්‍රියන්ත,
    ඔබගේ රචනා විලාසය හෘද්‍යාංගමයි.
    මන්ද යත් , ඔබ ඔබගේ අත් දැකීම් ද මුසු කරන බැවිනි.
    ඒත්
    ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබ අත් නොදැකි
    සුද්දන්ගෙන්, කලු සුද්දන්ගෙන් බැට කෑ ජනයා විසින් අත් දැක ඇති,
    ක්ශේත්‍රයක් තිබේ,
    එය බොහෝ අප්‍රසන්නයි.
    'අත්තනායක මොඩල් එක'
    නියෝජනය කරන්නේ
    ඒ ජන කොටස(මෙය ලියන මාත් ඇතුලුව ) වෙන්නට පුලුවන.
    වෛරයක් ඇති බව සැබෑව,
    ඒත් එය පාදක කරගෙන,
    ලාංකික ජනයාගේ ප්‍රශ්නවලට ගෙන එන විසඳුම්,
    නිවැරදිම විසඳුම් නොවේ.
    එය කොටසකගේ මඩිය තර කරන ව්‍යාපෘතියක් වීම
    වැලැක්වීමට රාජපක්ශ පවුලට හැකියාවක් නැත
    මන්ද ඔවුන්ද ඒ ව්‍යාපෘතියේ හවුල් කරුවන් බැවිනි.
    ඒ නිසා අත්තනායකලාද මෝඩ හා වංක මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.

    ReplyDelete
  2. අත්තනායක යනු නමක් ද වාසගමක් ද? හේරත් නම් වාසගමනේ?

    මේ කතාව සහ ඔහු රාවණ බලයේ කතා කළාය කියා ඇසු විට මට හිතෙන්නේ අත්තනායක එම් හේරත් ගේ සම්පූර්ණ නමේ මැද අකුරෙන් කියවෙන්නේ මොකක්ද කියායි.

    මෝඩයා ද
    මුග්ධයා ද
    මොංගල්කාරයා ද
    මෝලංගිරියා ද
    මඩකරියා ද

    අනේ මන්දා?

    ReplyDelete
  3. අපේ කාලයේ චණ්ඩියෙක්!

    ReplyDelete
  4. ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්යාල කථිකාචාර්යවරුන් බවට පත් වූ පුද්ගලයන් යනු එක්තරා ආකාරයක හීනමානයෙන් පෙලෙන කොටසකි. මොවුන් බොහො දෙනෙකු ඉන්ග්‍රීසි නොදන්නා ඒක භාශිකයන්ය. මේ නිසා නවීන දැනුම මොවුන්ට ලැබෙන්නේ සීමිතවය. මොවුන් ලෝකයට විවර වන්නේ තනි ඇසකිනි. විද්‍යාව තාක්‍ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා මොවුන් ගිරා පෝතකයන්සේ වනපොත් කර දැමූ කලා විශයන් ගැනද ගැඹුරු දැනීමක් නොමැත. ඒ නිසා මොවුන් දැනුම පෙන්වන්න කියා බල්ටි ගසන්නේ බුදු දහම පෙරටු කොටගෙනය​. මොවුන් ගේ ඉලක්කය දැනුමින් අඩු ග්‍රාමිය බොදු ජනතාවය.

    ReplyDelete
    Replies
    1. මා දුටු වනම කිපෙන කතාවකි මේ ගැමියන්ගේ ෆේවරිට් කියන කතාව. අත්තනායකලා පොරවල් වන්නේ නියම ගම්වල සිටින ගැමියන්ට නොවේ. නිදහස් අධ්‍යාපනය නැමැති සුට්ටි හිලෙන් මුලු ලෝකයක් දකින්නට හුරු කරන ලද අර්ධ නාගරිකයන්ට සහ ලාංකීය උගත් පරපුරටයි. මා සිටින කන්තෝරුවේ සිටින සියයට හැටකට වැඩි සේවක පිරිස ඉංජිනේරු විද්‍යාවන් හැදෑරු අය වෙති. නමුත් ඔවුන් අතර ඇති සමහර මැටි ආකල්ප ආදිය අපේ ගමේ සිටින බොහෝ දෙනකුට නැත. මේ අය කේන්දර බලති, දෙයියන් බුදුන් සරණ යති, දොරමජලාව බලති, කවුරු හෝ රටින් පහත්වුනොත් ඔවුන් පසුපස යති. නමුත් මා වසන ගමේ ගැමියෝ අති බහුතරය දෙවියන් තබා බුදුන් ගැනවත් විශ්වාසයක් නැති අය වෙති. ගම් වල පංසල් පල්ලි බොහොමයක් වැසෙද්දී නාගරිකයන්ට අසපු ආශ්‍රම ඇරෙන්නට පටන් ගෙන ඇත්තේ මේ විපරීත මොඩල් උගතුන්ගේ ඇති මැටි මොඩල් ගතිය නිසාය.

      ගම් වල වෙසෙන ජනයා තවදුරටත් අජිත් ලාගේ සිංදු ඇහුවාට, රංජන් ගෙ ෆීල්ම් බැලුවාට,..ටෙනිගේ නාට්ටි බැලුවාට ඔවුන්ට අත්තනායක ලා පොරවල් නොවේ. අත්තනායකලා පොරවල් වන්නේ අතරමග නැවතී හිටගෙන බුදුන් වදින්නට හුරුවුන නාගරික සහ අර්ධ නාගරික ජනතාවටයි..

      Delete
  5. මේ මිනිසුන් සිය දිවි නසාගන්නේ අන් අයටද එල්ලෙන්න ලණු දික් කරමින්ය.

    ReplyDelete
  6. chitra jayawardenaDecember 9, 2013 at 2:26 AM

    Do not waste time finding fault with others.... It is not worth
    Do something unique and benificial to the society....
    Little by Little...with the collective effort ..you may make a difference.
    Politicians , Buddhist monks , Artists The media are egoistical ...and after Money Power and prestige..
    Do not expect anything special or other than that....
    But the critics , do not have to waste time with hatred or resentment....
    If there is a will there is a way
    So fulfil your obligations towards the nation.
    Ability + unity + courage + determination.........success
    Do not waste time to find fault with other. It is not worth

    ReplyDelete
  7. chitra jayawardenaDecember 9, 2013 at 2:40 AM

    Kanna deepu atha hapa kaama karapu samajayak thai SRI LANKAWA
    May i never ever be born in that F*****g country.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉහළ කියන දෙයට සපුරා වෙනස් අදහසක් නෙව පහළ මේ ලියල තියෙන්නෙ. එකතු වෙලා, අනිකගෙ වැරදි නොසොයා වැඩ කරන්න කියන ඔබම කියනව, මේ ‘අහවල්‘ රටේ ආයෙ උපදින්නවත් එපා කියල!!! මගේ කොටස මම ඉෂ්ට කරනව. මම නං එහෙම ප්‍රාර්ථනා කරන්නෙ නැහැ. ඒත් ඉහළින් කිව්ව දේට උත්තරේ මම ලිව්ව මේ බ්ලොග් එකේම මීට කලින්...
      http://priyanthaf.blogspot.com.au/2013/08/blog-post_10.html

      Delete
    2. උවමනාවටත් වඩා පිළි ගනිමි. නව මොඩල් එක නමින් හඳුන්වා ඇති අත්තනායකගේ කෙරුවාව ගැන අපිත් ඉන්නේ අවදියෙන්. මේ උපාසක උන්නැහේ ගැන මේ වග කියන්නට ඔබ විජේවීරගේ වාහනය මුල් කරගත්තේ ඇයි ද යන්න අපැහැදිලියි. එය හුදෙක් මොඩල් යන වචනය හා අත්තනායක යන නම පාවිච්චි කිරීමට පමණක් ම නම්, විජේවීර පිළිබඳව මෙලෙස සිහි කිරීම යුතු නැත. ඔබට නිරන්තරයෙන් මතක් වන්නේ එකී වාහනය වුව ද ඊට එහා ගිය වටිනා වූ මතකයන් ජනතාව සතුව ඇත. ඔබ විග්‍රහ කරන විචාරය කරන කලාව, සංජීව පුෂ්පකුමාර වෙනුවෙන් කරන විග්‍රහය( ඉතා හොඳ කාලීන තර්කානුකූල සාධාරණ වූ විග්‍රහයකි), සමාජයට පෙන්වන්නට උත්සාහ කරන මතය තුළ ඇත්තේ ද ඔබට අමතකව ගිය ඒ සංකල්පයි. ලංකාවේ කලාව ගැන හොඳ මතයක් විජේවීරගෙන් පසුව පැමිණි ඔබ කිවූ උඩුකුරුංඤ්ඤං ගැසූ ඒ අනුගාමිකයන් ගේ මුවින් මිස වෙන කිසිවෙකුගෙන් ඔබලාට අවැසි දෙයක් සිදු වෙයිද? විග්‍රහය ඉතා හොඳය. නමුත්, කුමන දෙයකට වුව ද දේශපාලනීකරණයෙන් වියුක්ත වූ විග්‍රහයන් කුමටද?

      Delete