Saturday, November 2, 2013

තායිලන්තයේ අති-රාජ්‍යත්වය




පිවිසුම:
තොන්ග්චායි විනිචාකුල් විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ අග්නිදිග ආසියානු කලාපයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ය. පසුගිය ජූලි මස තුන්වැනි දින සිට පස්වැනි දින දක්වා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී පැවති, ‘සංස්කෘතික ව්‍යාපාරයෙන් ඔබ්බට“ නමැති තේමාව ගත් අන්තර් ආසියානු සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ සමුළුවේ හමාර දේශනය සඳහා ඇරයුම් කර තිබුණේ තායිලන්ත ජාතික විනිචාකුල්ට ය. ඔහුගේ දේශනය “හදිසි තත්වයේ වන රාජ්‍යය“ ලෙස නම් ලද අතර ‘අති-රාජ්‍යත්වය‘ (Hyper – Royalism) නමින් ඔහු ගෙන ආ සංකල්පය පිළිබඳ මාහැඟි කරුණුවලින් සුපෝෂිතව තිබිණ. එය තුන් දින සමුළුව නිම කොට වහවහා සිය රටවලට යාමට බලා උන් ආසියාතික හා බාහිර කලාපවල විද්වතුන් යළි සිය ආසන වෙතම හිඳුවා තබා තුෂ්ණීම්භූත කරවූ දේශනයක් ද විය. 

මහාචාර්ය විනිචාකුල්ගේ ‘අති-රාජ්‍යත්වය‘ පිළිබඳ මෙම අදහස් හෙළි දකින්නේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ සමුළුවේදී පමණක් නොවේ. මේ ලිපිය ඒ දේශනයේ ඔහු සඳහන් කළ දේත්, පෙර ඔහු සඳහන් කර තිබෙන කරුණු විමසා බැලීමෙනුත් පසු සම්පාදනය වන්නකි.
____________________________________________________________________________________

බීජිං ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් දිනන තායිලන්ත බොක්සිං ක්‍රීඩක සොම්ජිත් ජොන්ජොහොර් සිය ජයග්‍රාහී වටයෙන් පසු බොක්සිං වළල්ලේ සිට සිය ප්‍රේක්ෂකයින්ට ආචාර කරන්නේ තායිලන්ත ජාතික ධජය ඉහළට ඔසවමින් නොවේ. ඔහු ඔසවන්නේ තායිලන්ත රජුගේ රාමු කළ ඡායාරූපයකි. මහාචාර්ය විනිචාකුල් සිය දේශනය ආරම්භයේදීම මෙම සිදුවීමට අදාල සේයාරුව අපට පෙන්වමින් මෙසේ කියයි.

“අති-රාජ්‍යත්වය... පේනවද ඔබට? ඒක හරියටම මෙන්න මේ වගෙයි!“

සොම්ජිත් ජොන්ජොහොර්
රාජ්‍යයේ හදිසි තත්වය
විනිචාකුල්ට අනුව අති-රාජ්‍යත්වය හමුවේ එන ‘හදිසි තත්වය‘ (State of Emergency) සමස්ථ ආසියාවට අඩු වැඩි වශයෙන් පොදු වූවකි. ඒ ඒ රටට ආවේණික වෙනස්කම් සහිතව වුව ‘හදිසි තත්වය‘ පිළිබඳ පොදු අවස්ථාවන් බොහෝ ආසියාතික රටවලින් හඳුනාගත හැකි බවට ඔහු යෝජනා කරයි. පිටතින් එන තර්ජන හා ඊට එරෙහිව ජාතිය ගොඩනගන්නට යාම හා බැඳුණු හදිසි තත්වයන් මේ යටතේ ප්‍රමුඛව තබන ඔහු පශ්චාත් ශීත යුධ සමයේ ලිබරල්වාදී රාජ්‍යයන් ද මෙම සෙවණැලි තුළ පවතින බව පෙන්වා දෙයි. නව ලිබරල්වාදය ද ඉන් ගැලවී නැති බව කියන ඔහු ‘හදිසි තත්වයේ පවතින රාජ්‍යය‘ යන්න සංස්කෘතික ස්වභාවයක් බවට පත්වෙමින් පවතින අයුරු සරලව විග්‍රහ කරයි.

“සියල්ල සාමාන්‍යකරණයකට ලක් වෙලා. ස්ථිරව යම් දෙයක් සීමා කිරීම හා වෙනත් දෙයකට/ ප්‍රකාශනයකට කොපමණ තරම් ඉඩ ලබා දෙනවාද යන්න පිළිබඳ කතාබහ අවශ්‍ය දෙයක්ම යැයි හැමෝටම හැඟී ගිහින්. ස්වයං වාරණය යන්නත් පොදු වගේම ස්ව කැමැත්ත මතම තීරණය වන දෙයක් බවට පත් වෙලා හමාරයි. පොදු ජන අවකාශය සැකසෙන්නේ ම මේ මත පදනම් වී ගෙනයි. සංස්කෘතික නිෂ්පාදනය යන්න බිය හා ස්වයංවාරණය පදනම් කරගෙනයි විකාශනය වෙන්නේ“

අති- රාජ්‍යත්වය යනු
තායිලන්ත සමාජය තුළ බල පවත්නා රාජ්‍යයේ හදිසි තත්වය එම රට අති- රාජ්‍යත්වයක් වෙත කේන්ද්‍රගත කොට ඇත. අති-රාජ්‍යත්වය යනු කුමක්ද? විනිචාකුල්ට අනුව ඒ මෙවැන්නකි.

පළමුවෙන්ම, එදිනෙදා සමාජ ජීවිතය ගොඩ නැංවෙන කාල හා අවකාශයන් තුළ රාජකීයත්වය පිළිබඳ සඳහන ඉහළ ගොස් ඇත. විශේෂයෙන් 1976න් පසු තායි ජන සමාජයේ වන මෙම රාජකීය භූමිකාවේ වෙනස විමසා බලන්නට ඔහු අපට ආරාධනා කරයි. 

“හොයල බලන්න කොච්චර තැනක මුණ ගැහෙනවද කියල රජ්ජුරුවො... ඔබටම පෙනෙයි වෙනස“

දෙවැනුව ඔහු ආරාධනා කරන්නේ රජු හා රාජ්‍යත්වයේ භූමිකාව උත්කර්ෂයට නංවා ඇති ස්වභාව වටහාගන්නටයි. රජු දිව්‍ය භාවය වෙත ඔසවා තැබීම තායි සමාජ - සංස්කෘතික වටපිටාව තුළ බහුල ලෙස හමුවන්නකි. ඔහුගේ තෙවැනි පිවිසුම, දිව්‍ය භාවය ද ඉක්මවමින් රජු වෙත වන්දනාමාන කරන සහ ඔහු අදහන පිරිස් වෙත ය. ලබ්ධියක් (Cult) ලෙස රජු වන්දනයට යොමු වන කණ්ඩායම් තායිලන්ත සමාජයේ හඳුනා ගැනීම අපහසු නැති බව විනිචාකුල් පෙන්වයි. බහු සංස්කෘතික ජන සහභාගිත්වය රාජ්‍යත්වය වෙත වීම සිවුවැනිව තබන ඔහු අවසානයේ අති- රාජ්‍යත්වයේ ප්‍රවේශයක් ලෙස දැඩි ලෙස පාලනය කිරීම දක්වයි. දැඩි ලෙස පාලනය වන්නේ රාජ්‍යත්වයට එරෙහි මත පමණක් ම නොවේ. රාජ්‍යත්වය පිළිබඳ ව වන විවිධ මත යි. 

තායිලන්තය නූතන ද?

අති-රාජ්‍යත්වයේ වර්තමාන ප්‍රවේගය කුමක්දැයි විමසන මහාචාර්ය විනිචාකුල් නූතනත්වය තුළ එහි තත්වය කුමක්දැයි යන ගැටළුව නගයි. සැබවින්ම ‘නූතන‘ (Modern) රාජ්‍ය ස්වභාවයක් තුළ අති-රාජ්‍යත්වයක් දැකිය හැකි ද? එසේ නොහැකි නම් තායිලන්තය නූතන රාජ්‍යයක් ද? සන්නිවේදනය විවෘතව පවතින, නූතනත්වයේ තර්කය පදනම් වූ රාජ්‍යයක අති රාජ්‍යත්වය රැඳෙන්නේ කෙසේ ද? මේ මුල් ගැටළුවෙන් අනතුරුව විනිචාකුල් නගන ප්‍රශ්න මාලාවයි. 

මෙම ගැටළු සඳහා ඔහු පිළිතුරු ‍‘වදන්‘ තුනක් යෝජනා කරයි. ඒ නම්, 1. දේශපාලනය 2. ජීවම 3. මැජික් යන වදන් ත්‍රිත්වයයි.

රාජකීය දේශපාලන න්‍යාය පත්‍රය ‘රාජකීය ප්‍රජාතන්ත්‍රවාදයක්‘ සඳහා යොමු වන බවට තර්ක නගන මහාචාර්යවරයා ‘ධම්මරාජ‘ සංකල්පය පිළිබඳ වන වදනේ (ධම්මරාජ) ජීවම නිතර මහ ජනතාව අතර රැඳවීම නිසාවෙන් ගොඩ නැගී ඇති තායි රාජ්‍යයේ ස්වභාවය වටහා ගන්නට අපට ඇරයුම් කරයි. ‘මැජික්‘ හමුවන්නේ ම දකින්නාගේ නෙත් මායාවෙන් බැඳ තබමිනි. නූතන තායි රාජ්‍යත්වය ‘මැජික්‘ දැක්මන් හරහා යමින් නෙත් සිත් වසඟ කර ඇති ආකාරය දකින්නට ඔහු මඟ පෙන්වයි.

ඉහත පිළිතුරු පිළිබඳ වඩාත් විස්තරාත්මක විමසුමකට විනිචාකුල් අනතුරුව පිවිසෙයි. පළමුවැන්න වූ ‘දේශපාලනය‘ යන්න විග්‍රහ කරන ඔහු, අති-රාජ්‍යත්වය කරා තායි දේශය මෙහෙයවූ දේශපාලන වෙනස්කම් එකිනෙක පෙළ ගස්වමින් එය වටහා ගන්නට අපට ආරාධනා කරයි. 

ඒ අනුව, 1960න් පසු නැග එන දේශපාලන ප්‍රගාමකයන් දෙකකි. ඉන් එකක් නම්, රාජකීය දේශපාලනයේ න්‍යාය පත්‍රයයි. 1960න් පසු තරුණ රජු යටතේ නැග එන නව රජ පවුලේ ක්‍රමවේදය නවමු දේශපාලන යුගයක් වෙත මග හෙළි කරයි. මහාචාර්යවරයාට අනුව, සමාන්තර ලෙස ඇමරිකානු ශීත යුද්ධය ද මෙම වටපිටාව වැඩි දියුණු වීමට රට තුළින්ම පිටු බලයක් සපයන්නට හේතු වී ඇත. ශක්තිමත් රජ පවුලක් යනු සිය ආරක්ෂාවේ ශක්තිය යැයි මිනිසුන් තුළ ද විශ්වාසයක් නිර්මාණය වූ බවක් පෙනෙන්නට තිබේ. 1973 පසු කර යත්ම ‘රාජකීය ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබඳ අදහස තව දුරටත් ඔප් නැංවෙයි. 1990 දශකයේ දී රාජකීය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් තුරුම්පු ද පෙරට එන අතර 2000න් පසු දකින්නට ලැබෙන්නේ රාජකීය බව ‘සාර්ථක‘ වී ඉන් ඔද වැඩුණු තායිලන්තයකි.

දේශපාලන වෙනස පිළිබඳව ම දෙවැනි, වෙනස් ප්‍රවේශයකින් එන විනිචාකුල් 1960න් පසු තායි සමාජයේ ගොඩ නැගෙන බිය හා සාංකාව වටහා ගන්නට අපට ඇරයුම් කරයි. 1960 දශකයේ විහිද යන කොමියුනිස්ට් ව්‍යාපාරයන්ට එරෙහිව රට තුළ පතුරුවා හරින බිය 1975 -80 යුගයේ ඉහළ නගින්නේ ඉන්දු-චීන විප්ලවයන් හේතුවෙනි. මෙම සමාජය හමුවේ 1990 දශකාවසානයේ නැගෙන නව ධනපති තත්වයන් 2000න් පසු සාර්ථකත්වයට ළඟා වන්නේ ‘රාජකීය ප්‍රජාතන්ත්‍රවාදය‘ සමග හිඳිමිනි. 

ධනි නිවාත් කුමරුගේ ලේඛණය 

1946 දී පමණ සියම් සමාජය පිළිබඳ වන ජර්නලයකට ලිපියක් සපයන ධනි නිවාත් කුමරු ‘රජ පවුල පිළිබඳ පැරණි සියම් සංකල්පය‘ විග්‍රහ කර ඇත. පසුකාලීන ව කිරුළට  හිමිකම් කියූ රජ කුමරුගේ ගුරුවරයා ද වන ධනි නිවාත් ගේ මෙම ලේඛණය තායි අති- රාජ්‍යත්වයට මග හෙළි කළ ලේඛණයක් බව මහාචාර්යවරයා තහවුරු කර පෙන්වයි. 

සංස්කෘත හා සුකෝතායි  සංස්කෘතික පසුබිම යනු කවරේදැයි විග්‍රහ කරන මෙම ලේඛණය නිසි රජෙකු පිළිවිසිය යුතු දශ-රාජ ධර්මයන් පැහැදිලි කරයි. එයින් ද නොනැවතී රජුගේ ක්‍රියා පිළිවෙත් හා කාර්යය පිළිබඳ අලිඛිත සම්ප්‍රදාය පැහැදිලි කොට දක්වයි. මෙය බැලූ බැල්මටම තරුණ රජු වෙත ලබා දෙන පාඩමක් හා සමාන ය. එසේමුත් විනිචාකුල් තර්ක කරන්නේ මෙම ලේඛණය තීරණාත්මක ලෙස ‘රජු‘ පිළිබඳ සංකල්පය හා එහි භූමිකාව තායි සමාජය තුළ පිහිටුවන බව ය. එය යළි යළිත් තායි රාජ්‍යත්වය පිළිබඳ කතිකා නිර්මාණය කරමින් වර්තමානය දක්වාම රාජ්‍යත්වය ආරක්ෂා කිරීම සඳහා පෙනී සිට ඇති බව විනිචාකුල්ගේ අදහසයි.

ධනි නිවාත් නැවතත් සිය කෘතියෙන් ඔප් නැංවූ ‘ධම්මරාජ‘ සංකල්පය වෙත අවධානය යොමු කරන ලෙස මහාචාර්යවරයා අපට යෝජනා කරයි. ‘ධර්මරාජ‘ යනු නව - බෞද්ධ ධාර්මික රජකමයි. මේ අනුව, බෞද්ධ ජනතාවට මේ ‘සිය‘ (තමන්ගේ) රජ පවුල යන හැඟීම ගොඩ නංවා දේ. සිය රජු ‘ධම්මරාජ‘ සංකල්පය තුළ යමින් දැහැමින් රට විමසා, ජනතාවට සහනය සළසා, රට සංවර්ධනය කරන්නේ ය යන අදහස ඒ සමග ස්ථාපිත වේ. එහෙත් විනිචාකුල් අවසන මෙම ‘නව‘ ධම්මරාජ‘ සංකල්පයේ වන වෙනස සූක්ෂමව ධනි නවාත්ගේ අදහස විමසන්නකුට පෙනී යන බව පැහැදිලි කරයි. ඒ අනුව මේ පැරණි බෞද්ධ ‘ධර්මරාජ‘ සංකල්පය නොව හින්දු ‘දේව‘ රාජ සංකල්පයේ අදහස් ද එක් කරගත් නව තායි නිමැවුමකි. 

විනිචාකුල් මහාචාර්යවරයා රජුගේ ‘ජනතා සේවය‘ පිළිබඳව අපට මෙසේ කියයි.

“මතක තියාගන්න! රජු ජනතාවට සේවය කරන්න ඕනෑය කියන අදහස මුලින්ම කියවෙන්නෙත් 1880 ගණන්වලින් පස්සෙ. ඊට කලින් කිව්වෙ අපි ජනතාවට ‘රැකවරණය‘ දෙනව කියල. ඒක හමුදාවක් තියාගෙන දුන්නු එකකුත් නෙවෙයි. ඔවුන් මාළිගාවෙ හිටිය. ඒ නිසාම ජනතාවට අදහසක් තිබුණ අපිට එයා නිසා ‘රැකවරණයක්‘ තියෙනව  කියල. ඒක නිසා ජනතාව රජු වටේට, ළඟින් හිටිය. රජු කරපු දෙයක් නැහැ. ඒක හැඟීමක් විතරයි!“

ජනතාවට සේවය කිරීම යනු, විනිචාකුල්ට පෙන්වා දෙන පරිදි, නව අදහසකි.

තායි රජුගේ බලය හා ස්වරූපය වටහා ගැනීමට භාෂාව බාධාවක් බව විනිචාකුල් කියයි. ජාත්‍යන්තර භාෂාවකින් තායි සංස්කෘතික හැඟීමක් වටහාගැනීම කළ නොහැක්කකි. 

“අපි His Majesty කියන වචනෙ යොදනව. ඒත් තායි රජු හඳුන්වන්න ඒක යොදන එක හරියන්නෙ නැහැ. ඔහු සම්බන්ධ තායි ජන විඥාණයේ හැඟීම වෙන එකක්. ඒක භාෂාමය වශයෙන් වෙනස්. අපි Human Rights කියනකොටත් ඕක ඔහොමම වෙනව!“

තායි සමාජය හමුවේ පරමාධිපත්‍යය යළි හැරී රජු වෙතම ගමන් කරන බව කියන විනිචාකුල් එය ඡන්දය මොහොතට පමණක් ජනතාව වෙතට මොහොතකට හැරී යන්නක් බව යෝජනා කර සිටී. 

අපි ජනතාවගෙන් අසන්නේ නිවැරදි පැනය ද? 

ජනතාව සිටින්නේ ‘මැජික්‘ දකිමිනි. අප එම මැජික් දකින ජනතාවට ‘ජීවම‘ ප්‍රශ්න කරන්නට යැයි යෝජනා කිරීම ප්‍රතිඵල ළඟා කර දේ ද? වඩා ප්‍රබලම කාරණය නම් මෙම ජීවම ද ‘මැජික්‘ දැක්මේම කොටසක් වීමයි.  මේ විනිචාකුල් ගෙනෙන තායි දේශ සීමාවෙන් බැහැරට ද කාරණය දිගු කෙරෙන ප්‍රබල තර්කයකි.

ජනතාව දකින ‘මැජික්‘ යනු මොනවාද? විනිචාකුල්ට අනුව එය අද අති නූතන යැයි කියාගන්නා බටහිර ජනයා හමුවේ ද ඉදිරිපත් වන්නකි. 

‘රජ පවුල‘ අති සුවිශේෂිතයින් ලෙස පෙනී යෑම මෙහි ඇති සරල ආරම්භක තත්වයයි. ඔවුන් තව දුරටත් තමන් හා සම නොවන බවත්, සියල්ල දැකීමේ මහා බලයක් ඔවුන් තුළ වන බවටත්, දැනුම හා තර්කය ගොනු වී ඇත්තේ ඔවුන් තුළ බවත් පෙනී යාම මෙම මැජික් ක්‍රියාදාමයේ විකාශනය සමග වන්නකි. 

මෙම අති සුවිශේෂ ලෙස කෙනෙකු හෝ පිරිසක පෙනීම හා පිළිගැනීම සම්බන්ධ ජන විඥාණය අපි කෙසේ හඳුනාගනිමු ද? එම සමාජය වෙත යළිත් අද්භූත මාධ්‍ය හා මිත්‍යාව පිළිබඳ විශ්වාසයන් ද වේගයෙන් අවතීර්ණ වනු පෙනී යනු ඇත. යළි අප ඇදී යන්නේ මිත්‍යාවේ සංස්කෘතිය වෙත ය. මේ සියල්ල සමග විනිචාකුල් ආරාධනා කරන්නේ අධි-රාජ්‍යත්වය අනෙකුත් මැජික් සමග සසඳමින් වටහා ගන්නට ය. එය වඩාත් තර්කයට බර යුරෝපීය රාජ්‍යත්වය සමග එකට ගෙන සිතීමෙන් පලක් නැති බව ඔහුගේ අදහසයි.

යළි-වසඟය

නූතන රජ පවුල යළි -වසඟකාරිත්වය සමඟ ජනතාව අභියස දැන් ගොඩ නැගෙන්නේ කෙසේ ද? හින්දු සහ කැමර් සම්ප්‍රදායන් සමග එය නූතනත්වය එකතු කරගෙන ඇත. ඒ සමග රාජකීයත්වය වාණිජකරණයට හරවමින් රාජ්‍යත්වය පරිභෝජනවාදය හා එක් කර ඇත. දැන් එය ඕනෑම අයෙකුට, ළඟා විය නොහැකි මුත්, වාණිජ ලෙස ‘ගණු දෙණු‘ කළ හැක්කකි. දුප්පතකුට වුව රාජ්‍යත්වයේ සංකේත මිළට ගත හැක. ළඟ තබාගත හැක. (ඒ රජුගේම ඡායාරූපයක් වනු ඇත. බොක්සිං ක්‍රීඩකයා පිළිබඳ ආරම්භක සටහන යළි සිතා බලන්න.)
එමතු ද නොව රාජ්‍යත්වය නූතන තාක්ෂණය හරහා දෘශ්‍ය සංස්කෘතිය තුළ සිය ව්‍යාප්තිය තහවුරු කොට ඇත. ‘දෘශ්‍ය දර්ශනය‘ (Visualscape) යන යෙදුම මේ සඳහා භාෂා පද්ධතියේ භාවිතයට ගත හැක. අති-රාජ්‍යත්වය රූපවාහිනිය ඈ එදිනෙදා ජන දෘශ්‍ය කලාපවල සරමින්, මහජනතාවගේ දෘශ්‍ය පථයේ රැඳෙමින්, ‘ජීවම‘ දෘශ්‍ය භාවිතයක් බවට පත් කොට ඇත. රජු තව දුරටත් සිටින්නේ දුරින් නොව ළඟිනි. ජනයාට ඔහුගේ ජීවිතය දැකීමට හැම විටම ඉඩ පහසුව සැලසී ඇත.

සැබවින්ම රජු එසේම ද එසේ නොවන්නේ ද යන්න තව දුරටත් වැදගත් නැත. ‘දෘශ්‍ය දර්ශනය‘ තුළ හමුවන රජු නිසාවෙන් වැසියා තුළ සිටින, ඔහු බලාපොරොත්තු වන රජු ‘ජීවම්‘ කරගන්නට අවස්ථාව හිමි වේ.
 මේ මහාචාර්යවරයාගේ පෙළ ගැස්වීම විහිද යන ආකාරයයි. ආර්ථික අස්ථාවරත්වය, අනියත බව හැඟෙන සැම විටම මෙම වසඟය තුළට යළි යළිත් ඇදෙන තරමට තායි ජන සමාජය අධිකතර ලෙස වසඟකාරීත්වයම සොයන බව විනිචාකුල් පෙන්වයි.

“මේ යළි -වසඟකාරීත්වය ද? මම හිතන්නෙ මේ ඒක නෙවෙයි. ඒ වචනෙ හරි යන්නෙ නැහැ. මෙතනදි වෙන්නෙ දිගින් දිගටම, වේගයෙන්, ඉහළ අගයකින් වසඟකාරීත්වය වෙත ඇදීයාම“
ඔහු කියයි.

සමෘද්ධියේ සිට චිරස්ථිතියට

තායිලන්තයේ පස්වන රාමා රජු හෙවත් චූල රජු (චූලලොන්කෝන්) (1868 -1910) සිහි කැඳවන විනිචාකුල් පවසන්නේ ඔහු දරණ ලද්දේ සමෘද්ධියේ කිරුළ බවයි. එහෙත් රාජ්‍යත්වය ක්‍රමිකව විකාශනය වූයේ කොතැනට ද? අද පවතින්නේ ද සමෘද්ධිය යැයි කවුරුන් කීව ද මහාචාර්යවරයාගේ තර්කය මේ චිරස්ථිතියේ කිරුළ හමුවන අවස්ථාව බවයි. අධි-රාජ්‍යත්වය, තව දුරටත් සමෘද්ධිය හෝ ධනය රටට උදාකරන්නක් නොව, සංශය හා අවුල් සහගත බව පහළ දමන්නක් පමණක් බව ඔහු යෝජනා කරයි. ඔහු දකින සංශය හා අවුල් සහගත බව කුමක් ද? රජු නොමැති විට කුමක් වේවිදැයි යන සංකාව එයයි. වැසියා තුළ ගොඩ නැගෙන අනාගත අස්ථිර බව සමග ඒ බැඳී එයි. අති-රාජ්‍යත්වයේ යළි-වසඟය ඊට එරෙහිව නැඟී මේ සියලු සංකා දුරු කර දමයි. සිත් වසඟකාරී තෘප්තියක් වෙත කැඳවයි.

විනිචාකුල් තර්ක කරන්නේ ‘දෘශ්‍ය සංස්කෘතිය‘ එකිනෙක ප්‍රති නිර්මාණය කරමින් සිටින බවයි.
“ඔබ කියනව නම් රූපය පවතින දෙයෙහි පණිවුඩය ගේනව කියල, මම කියනව රූපය තමයි පවතින දෙය කියල. පණිවුඩය ගොඩනැගෙන්නෙ දෙවනුවයි!“

අවසානයේ විනිචාකුල් මෙසේ සිය සංවාදයේ කෙළවරට පිවිසෙයි.

ෆූකෝගේ අදහස බටහිරට මනාව ගැලපෙන්නකි. පාලනය යනුවෙන් හැඳින්වෙන්නේ මහජන අවකාශය පාලනය යැයි ඔහුගේ අදහස බටහිර මතු නොව සිංගප්පූරුවට  පවා කදිමට ගැලපෙයි. එසේමුත් තායිලන්තයේ දී පාලනය යනු මහජන ප්‍රකාශනය (Public Expression) පාලනය කිරීමයි. තායි දෘශ්‍ය දර්ශනය තායි සමාජයේ ශරීර, අවකාශ හා සිතුවිලිවලට එරෙහිව මහජන ප්‍රකාශ පාලනය කරයි. මහජන හැඟීම්, ප්‍රකාශන, භාෂණ හා සිතීම පාලනය කරන්නට යාන්ත්‍රණයක් නිර්මාණය කරයි. රාජකීය දෘශ්‍ය දර්ශනයට වන තර්ජන බිඳ හෙළයි.
සැබෑ සමාජ බිඳ වැටීම් හා ව්‍යසන පිළිබඳ කොපමණ කට කතා, ප්‍රචාර පැතිර ගිය ද මහජන ප්‍රකාශනය පාලනය වී ඇති හෙයින් ඉන් ප්‍රතිඵලයක් නොවන බව විනිචාකුල් කියා සිටියි. 

“මේක තමයි මැජික් එක! ඉංග්‍රීසියේ දි මැජික් කියන එක තෝරගන්නව ‘ඉන්ද්‍රජාල‘ කියන අර්ථයෙනුත්. නමුත් මම ගන්නෙ මේක මායාවට සමානයි කියන අර්ථය. මේ වසඟකාරීත්වය දෘශ්‍ය මායාවක් වෙලා අපේ සිතුවිලි රවටනවා. අපේ ඇස් ගිනි කණ වැටිල තියෙන්නෙ!“

මායාව සඟවන්නේ මොනවාද?

මායාව සඟවන්නේ මොනවාද? ඒ විනිචාකුල්ට අනුව සැබෑවට ම සිදුවන බිහිසුණු දේ ය. සිංගප්පූරු සමුළුවේදී ඔහු ඊට ගෙන ආ උදාහරණ ද්විත්වය දුටු ප්‍රේක්ෂාගාරය තදින් කම්පනයට පත් විය.

අම්පොන් ටැන්ග්නොප්පාකුල්
අම්පොන් ටැන්ග්නොප්පාකුල් යනු හැට තුන් වියැති තායි වැසියෙකි. 2011 නොවැම්බරයේ දී ඔහු සතු ජංගම දුරකථනයෙන් රජුට හා බිසවට එරෙහි කෙටි පණිවුඩ හතරක් යැවීමේ වරදට ඔහු අත් අඩංගුවට ගැනෙයි. තායිලන්ත නීතිය අනුව මෙම කෙටි පණිවුඩ යැවීම සාපරාධී ඝණයට වැටෙයි. අම්පොන් දුරකථනයෙන් කෙටි පණිවුඩ යවන ආකාරය නොදත් මහල්ලකු බව කියැවෙද්දීත්, ඔහුගේ ජංගම දුරකථනය ඒ දිනවල අලුත්වැඩියාව සඳහා දුරකථන සාදන්නකු වෙත තිබූ බව කියවෙද්දීත් ඒ ඔප්පු කරන්නට අසමත් විනැයි අපරාධ අධිකරණය වසර විස්සකට ඔහුට සිර දඬුවම් නියම කරයි. වසරක් ඇතුළත සිරගෙදරදීම අම්පොන් මිය යයි. විනිචාකුල් අප වෙත දැක්වූයේ වරදට චෝදනා ලැබූ පසු හඬා වැටෙන, අසරණ අම්පොන්ගේ සේයාරුවකි. 

දෙවැන්න, ප්‍රසිද්ධ ස්ථානයකදී මරා දැමෙන තරුණයකුගේ රූපයකි. ගසක එල්ලා, පහර දී මරා දමන්නට යන තරුණයාගේ අවසානය දකින්නට ලොකු කුඩා මහ සෙනඟක් එහි රැස්ව සිටිති. එය මහජන රැඟුමක් බවට පත්ව තිබේ. කුඩා දරුවෝ කිහිප දෙනෙක් සිදුවීම මහත් සතුටින්, සිනාසෙමින් නරඹමින් සිටිති. 
අවසානයේ විනිචාකුල් මෙසේ කියයි.

‘රජතුමා සීතාම්බර පට ඇඳගෙන යන සිදුවීම තව දුරටත් ජන කතාවක් නෙවෙයි. ඒ වුණත් ඔබ එය දුටුවත්, කියන්න ඕන අනිත් පැත්ත. ස්වයං-වාරණය බුද්ධිමය සමාජය වසාගෙන පැතිරෙන්න පටන් අරගෙන. ආත්ම වංචනය ඉහළටම ඇවිත්!“

ප්‍රියන්ත ෆොන්සේකා

ඡායාරූප : http://news.xinhuanet.com/english/2008-08/23/xin_5120805240918953878416.jpg
http://www.thekoratpost.com/Images/Ahkokngbaildenied.gif
 

No comments:

Post a Comment