Saturday, December 7, 2013

‘වල්‘ අජිත්ලා සහ ‘හොඳ‘ සුනිල් ලා!



“ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?“

දැනට වසර පහකට පෙර ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතියේදී අජිත් කුමාරසිරිගේ ගී සැඳෑවක් පැවති මොහොතක මේ ප්‍රශ්නය ඇසුවේ සංගීතය විශේෂ උපාධියට හැදෑරූ ශිෂ්‍යයෙකි. අජිත් ඊට දුන් පිළිතුර මට මතක නැතත් ඔහු ගැයූ ගීත කිහිපයකින් පසු සිසු සිසුවියන් පිරිසක් ද, ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද නැගිට යන්නට ගිය බව මතක ය. සංවිධානය කෙරී ඇති, ගලා යන නාට්‍යයකට හෝ ගීත සැඳෑවකට ‘හූ‘ තැබීමේ සම්ප්‍රදායක් ශ්‍රී පාලියේ ස්ථාපිතව නොතිබුණු නිසා කැමති අයට ඉතිරි ගීත අසන්නට ශාලාවේ රැඳෙන්නට අවකාශ ලැබිණි. විරාම අතරතුර දුම්වැටි (හෝ ගංජා සුරුට්ටු) කිහිපයක් උරමින් සියල්ල දෙස බලා උන් අජිත් අවසානයේ නිහඬව පිටව ගියේ ය.

‘මොකාද යකෝ තොපි ඒ ගෙන්නුවෙ?“

“ඌ බං උගුරෙන්නෙ සිංදු කියන්නෙ!“

වැඩය සංවිධානය කළ සිසුන් තිදෙනාට දින කිහිපයක් යන තුරු අස්වැසිල්ලක් ලැබු‍ණේ නැත. ඔවුන් අසරණ ලෙස ‘කඩා වැටී‘ තිබුණේ ප්‍රසංග කලා ආචාර්යවරියක් මදි නොකියන්නට දෙහි කැපූ පසු ය.

“පාර්ලිමේන්තුවට බල්ලො බුරනවලු! මොනවද ඒ වචන? රෙද්දක් ඇඳන් අහන් ඉන්න පුළුවන් ද ඌ කියන කුණුහරුප? ටිකක් හිතන්න තිබ්බ නේද විශ්වවිද්‍යාලෙකට ගෙන්නන්න කලින්?“

අසරණ සිසුවෝ තිදෙන නිරුත්තරව පැමිණ මා අසළ සිටි අයුරු මට අදත් මතක ය.

“සර්?“

ඔවුන්ගේ කටයුත්තට මුල සිට දිරි දුන් මගෙන් අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙන් ඔවුන් රැඳෙන්නට ඇත.

“අපි බලමු!“

ඊට දින කිහිපයකට පසු පැවති ප්‍රතිරූප අධ්‍යයනය පිළිබඳ දේශනයට මම වෙනස් ප්‍රවේශයකින් පිවිසියෙමි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රවාද සඟරාවේ පැරණි කලාපයක පළවී තිබුණු සංගීතය පිළිබඳ ව වූ ලිපියක් ඡායා පිටපත් කළ මම එහි ලේඛකයාගේ නම උවමනාවෙන්ම මකා දැමුවෙමි. අන්තර්ජාලයෙන් සොයා Bonsoir වැඩ සටහන විසින් සකස් කර තිබුණු ඉංග්‍රීසි භාෂිත වාර්තා වැඩසටහනක් සහ අජිත්ගේ ගීත කිහිපයක් පෙළ ගස්වා ගත්තෙමි. ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සියල්ල සූදානම් කර, කලින් ‘පාර්ලිමේන්තුව ඇතුළේ බල්ලන් බුරන බව‘ අජිත් උගුරෙන් ගැයූ අරුන්දතියම දේශනය සඳහා සැකසුවෙමි.

දේශනය ඇරඹුනේ සියල්ලට පෙර නම මකා දැමූ ලිපියේ පිටපත් සියල්ලන්ට බෙදා දීමෙනි. එය සාවධානව කියවන්නට ආරාධනා කළ මම මොහොතක් පසෙකට වුණේ සිසු සිසුවියන්ගේ හැඟීම් අධ්‍යයනය කරන්නට ය. 

“කවුද සර් මේක ලියල තියෙන්නෙ?“ සංගීතය හදාරන, යටකී ‘අමරදේවගේ ගීතය ඉල්ලූ‘ ශිෂ්‍යයා ඇතුළු පිරිසට ප්‍රශ්නයක් ඇති විය.

“කවුරු වෙන්න පුළුවන් ද?“ මා පෙරළා ඇසුවේ ද ප්‍රශ්නයකි. 

පිළිතුරට පෙර Bonsoir වැඩසටහනත්, තවත් ගීත ගණනාවකුත් ඔවුන්ට නරඹන්නට ඉඩ හළ මම න්‍යායාත්මක පිවිසුමට අවසානයේ පිවිස, ප්‍රතිරූප ගොඩනැගීම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කර දේශනය අවසන් කළෙමි. ඒ වන විටත් උගුරෙන් ගී කියූ අජිත් පිළිබඳව වුණු Bonsoir වාර්තා වැඩසටහන ඔවුන් වික්ෂිප්ත කර තිබුණු අතර, උප සිරැසි ද සහිත අජිත්ගේ දෘශ්‍ය ගීත වෙනස් අදහස් ගොඩ නංවා තිබුණේ ය. මම අවසානයේ පිළිතුර දුන්නේ සමුගනිමිනි.

“ඔය ලිපිය ලියල තියෙන්නෙත් අජිත් කුමාරසිරි කෙනෙක්!“

“නෑ...!“ 

සංගීතය හදාරණ යටකී ශිෂ්‍යයා මා වෙත පැමිණ මෙසේ කීවේ ය.

“අද ලෙක්චර් එක නං මාරයි සර්!“

අජිත්ව ගෙන්වීම නිසා අසරණව උන් සිසුවෙක්ද අවසානයේ පැමිණයේ ය.

“මාරයි සර්!“

“කිසි මාරයි එකක් නැහැ. මම කළේ තිබ්බ දේ පෙන්නුව එක. ඒ ගොල්ල ගොඩ නගාගෙන හිටපු ප්‍රතිරූප වෙනස් වෙන්න ඇති“

මේ සිදුවීම මට යළි සිහියට නැගුණේ මගේ මිතුරෙක් ෆේස්බුක් අඩවියක පෙර දිනයක ලියා තිබුණු කරුණක් දැකීමෙනි. ‘සිංහබාහු‘ වේදිකාගත කෙරුණු, මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නාමයට පිදුණු, පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලට ශිෂ්‍ය සාහිත්‍ය උළෙල සංවිධායකයින් විසින් අජිත් කුමාරසිරිලා ගෙන්වා තිබීම ඔහුගේ දැඩි වේදනාවට හේතු වී තිබිණි. ඔහුට අජිත්ලාව පෙනී තිබුණේ පෙර දිනක ‘සිංහබාහු‘ නාටකය පෙන්වද්දී සුප්පාදේවිය කරළියට එන විට විසිල් පහරක් ගැසූ පරපුරේ කෙනෙකු ලෙසිනි!

සරල යැයි පෙනෙන මෙම ප්‍රකාශයේ ඇති බිහිසුණු බව පිළිබඳ සාකච්ඡාවට මත්තෙන් ඉහත පූර්විකාවේ අවසානය කියන්නට ඉඩ දෙන්න. 

මගේ දේශනයෙන් ද දිගු කලකට පසු අජිත්ගේ ගී සැඳෑව දා නොසිටි ආචාර්ය මිතුරෙක් මගෙන් මෙසේ ඇසී ය. කතාබහට මුල් වූයේ අජිත්ට ඕසීඅයිසී සම්මාන උළෙලේ හොඳම සිනමා පසුබිම් සංගීතයට හිමි සම්මානයත්, හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සම්මානයත් ලැබීම ය.

“කවුද අර ‘වල්‘ අජිත්ට සම්මාන දුන්නෙ? කවුද එයාව කැම්පස් එකට ගෙන්නුවේ?“

ඔහු සංගීතය පිළිබඳ ආචාර්යවයවරයකු වූ අතර ‘වල්‘ අජිත්ලාගේ ගීත වෙනුවට ‘හොඳ‘ සුනිල්ලාගේ ගීත අගයන පරපුරකට ශිල්ප ඥාණය බෙදාදෙමින් උන් අයෙකි. හොඳ සුනිල් යනු සුනිල් පෙරේරා නම් නොවේ. සුනිල් එදිරිසිංහ ය. 

අජිත් ‘වල්‘ වෙන්නේ ඇයි?

අජිත් ‘වල්‘ වෙන්නේම සුනිල්ලා ‘හොඳ‘ වන නිසා ය. ‘වල්‘ අජිත් කියන ‘කුණුහරුප‘ විමසන්නට පෙර ‘හොඳ‘ සුනිල්ලාගේ ‘පිරිසිදු‘ වචන ගැන හොයා බලමු. 

අපට හමුවන ගීතය, කණ් කැඩෙන්නට ඇසෙන පුද්ගලික බස් රථයේ ගීතවලට බැණ වැදී ගෙදර ගොස් නිසොල්මනේ අසන ගීතය, හඳුන්වන්නට අද යොදන නම ‘සුභාවිත ගීතය‘ යන්න යි. ‘සුභාවිත ගීතය‘ මනරම්ව තේරුම් කර දෙන්නට නිවේදකයාට, සිංහල ගුරුතුමාට ලෙහෙසි ය. එය අසා නිදි නැති රැයවල සැනසෙන්නට, දැහැනට සමවදින්නට, විරහව විඳ කඳුළු සළන්නට, ජාති ආලයෙන් ඔද වැඩෙන්නට, ළමයින් මල් බව තේරුම් ගන්නට, පෙම්වතිය හෝ පෙම්වතා ගැන සිහින දැක සැනසෙන්නට රස විඳින්නාට ලෙහෙසි ය. මරනවා යනුවෙන් අජිත් ‘වල්‘ විදිහට කියන වචනය ‘නසනවා‘ යනුවෙන් සුභාවිත ගීතවලදී සුනිල් ‘හොඳ‘ විදිහට කියයි. ‘රට‘ කියා අමුවෙන්ම අජිත් කියද්දී සුනිල් කියන්නේ ‘දේශය‘ කියා ය. වලි කුකුළන් හේනට ඇවිදින් නටන බව සුනිල්ලා ගැයූවද කුකුළා, වල් ඌරා මරන් කන බවද, බල්ලන් උඩු බුරන බවද කියමින් අජිත් මෙන් උගුර ඇතුළෙන් කෑගසන්නේ නම් නැත.

සරලව ගතහොත් රළු පරළු වදන් නැති හොඳ සුනිල්ලාගේ ගීත මනහර ය. අති දක්ෂ රචකයින් ‘ගේය පද රචනා‘ කර ඇති ඒවායේ වචනාර්ථ ගැඹුරු අරුත් හා සංවේදනා ඇති කරන සුළු ය. කන්කළු ය. වයලීනය, සිතාරය, බටනලාව වැනි මියුරු සත්සර නාද නංවන සංගීත උපකරණවලින් නැගෙන නාද සිත්තම්වලින් පූර්ණ ය. 

මගේ මිතුරු ප්‍රසංග කලා ආචාර්යවරුන්ට ‘යකා නැග්ගේ‘ අජිත් මේ කිසිදු කරුණක් පූර්ණ කර නොතිබුණු නිසා ය. සංගීත ශිෂ්‍යයා බැරිම තැන අමරදේවගේ ගීතයක් ඉල්ලුවේ මේ නිසා ය. බොක්ස් ගිටාරයක් පමණක් ගෙන නිකමට එහි තතක් දෙකක් පිරිමැද උගුරෙන් කෑගසා මොන නාද සිත්තමක් මවන්න ද? සඳ ගැන කියා පෙම්වතියකගේ මුහුණකට සසඳන්නේ නැතිව, එය පාර්ලිමේන්තුවට පායන බව කීමෙන් (පාර්ලිමේන්තුව නම් ගේය පදවැලකට කිසිම සුදුසුකමක් නැති වචනයකි. ‘ර‘ යන්නෙහි කිසිදු ගීතමය ගතියක් නැත!) සුරංගනාවිය ගැන කියා ඇයට පෙම් කරන්නේ නැතිව පීනන්න ගඟට බසින්න එපා, ගඟේ වතුර හොඳ නැතැයි කීමෙන් ඇතිවන හැඟීම මොනතරම් ජුගුප්සාජනක ද?

සුනිල්ලාගේ හා අජිත්ලාගේ දේශපාලනය

ගීතයට මොන දේශපාලනයක්දැයි අසන සංගීත ආචාර්යවරු මට කොතෙකුත් හමු වී ඇත. ගීත පදවැල් කඩ කඩා ටියුෂන් පන්තියේ, පාසැල් පන්ති කාමරයේ හෝ විශ්වවිද්‍යාල දේශන ශාලාවේ (නැතිනම් දොරමඩලාවේ) ඒවායේ අරුත් ලිහා දෙන සිංහල විශාරදයෝ කිසිම විටෙක මේ වදන් පසුපස ඇති දේශපාලනය නොදකිති; නොපෙන්වති. වචනයෙන් වචනය ලිහා කෙරෙන ගීත විචාරයක් වෙත නොගොසින් අපි සුනිල්ලාගේ ගීත දෙක තුනක් ගෙන බලමු. ගැඹුරු ලෙස කලාව හා දේශපාලනයට යන්නට පෙර මතුපිටින් පෙනෙන දෙය දැක ගනිමු.

රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ....“

මේ උතුරු යුද්ධය ඉහළින්ම නැගෙද්දී නිතර ඇසුණු ගීතයකි. හදවතින් අප කිසි විට සොල්දාදුවන් තනි නොකරන බව කියමින් යුද්ධ බිමේ ඉදිරියට යන්නට ඔවුන්ට දිරි දෙන්නේ සුනිල්ගේ හඬ ය. සොල්දාදුවෝ මේ ගීතය අසා සැනහී යුධ බිමට ගිය හ. සමහරෙක් මිය ගිය හ. තවෙකෙක් දෙපා, දෙඇස් අහිමි ව යළි ආ හ. නිසොල්මන් සැඳෑවක ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ යළි පැමිණි අයට මේ ගීතය ඇසුණාට සැක නැත. 

ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා... සැරසෙමු ද?
නැසුනු ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ... කවුරුන් ද?“

මේ උදාහරණය මා සමග කී නාට්‍යකරුවකු වන ධනංජය කරුණාරත්න මගෙන් ඇසුවේ දැන් සොල්දාදුවා කුමක් සිතනු ඇත් ද යන්න යි. ගීතය සුනිල්ගේ ය!

මේ ගීතයට ඉහළ ඉල්ලුමක් තිබුණේ චන්ද්‍රිකා යුගයේ ‘සුදු නෙළුම්‘ ව්‍යාපාර සමයේ ය. මහින්ද රජය යුද්ධයට අවතීර්ණ වන විට ‘රන් වැටක් ලෙස‘ පෙරට ආවේ ය. මෙකරුණ ඇසූ මගේ තවත් මිතුරෙක් එම තර්කයට තමන් විරුද්ධ යැයි කීවේ, 

“එහෙම බැලුවොත් අපට ගන්න වෙන්නෙ ජයතිලක බණ්ඩාර විතරනේ... එකම මතයක ඉඳන් සිංදු කියපු“ කියමිනි. 

කොහොම වුණත් සුනිල්ලා නිකං ආවාට ගියාට සිංදු නොකියන බව අවසානයේ හොඳටම ඔප්පු විය‍. ඒ මේ ගීතය සමගිනි. 

ඝෝර මරසෙන් රැගෙනබලසෙන් - යළිත් ඇවිදින් පෙරහැරේ..
මාර බල බිඳි බුදු පියාණෙනි - ඔබ දෙසූ ධර්මය අනතුරේ...“

මේ බොදු බල සේනා සංවිධානයේ තේමා ගීතයයි. 

අජිතුයි, ඌරොයි, පාර්ලිමේන්තුවයි!

අජිත් සංවිධානවල තේමා ගීත ගයා නැත. ගයන්නට හොඳ කටහඬක් අජිත්ට නැත. අජිත්ම එක්තරා සංවාදයකදී කියා තිබූ පරිදි ඔහු නාදයට වඩා හඬ හා ඝෝෂාව ගැන විශ්වාස කරයි. එයට ලං වෙයි. හඬ හා ඝෝෂාව වඩා ළඟ මගේ ෆේස්බුක් මිතුරා කියන  සුප්පා දේවි එන විට නැගුණු විසිල් පහර පැත්තට ය. එය කිසිම නාදයකට තබන්නේ නැති ව ඔහේ ගසා දමන්නකි. ඉතින්, බැලූ බැල්මට අජිත්ගේ ‘ගොරගොරය‘ ඒ වගේ ම ය!

සුනිල්ගේ සුභාවිත ගීත අසා, ඒ විමසා නොබැලූ අපි අජිත්ගේ ගීත විමසන්නේ ද නැත. අජිත්ගේ ගීතවල සුභාවිත පද වෙනුවට කඨෝර වචන එනවිටම මුහුණ නරක් කරගන්නා අපි ‘කුණුහරුප වදන්‘ වලට විරෝධය පාමු. අජිත් කියන මේ ‘කුණුහරුප‘ මොනවා ද?

පාර්ලිමේන්තුව ඇතුළට හඳපායනවා - හඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටවු වාගෙ බුරනවා - බල්ලො හඳට යන්න හදනවා....“

මේ පද කණ වැකෙද්දීම පිස්සු වැටෙන අපි පාර්ලිමේන්තුව ගැන, අද දවසේ දේශපාලනය ගැන අති-සරල වචන කිහිපයකින්, රළු වචන පෙළකින් අජිත් කියන බව සිතා නොසන්සුන් වෙමු. අපට එහි දෙවන වචන පෙළ නොඇසේ. වචන තවමත් රළු ය. නමුත් ඔහු විමසන ප්‍රශ්න ප්‍රබල දේශපාලන අර්ථ සහිත ය. සුභාවිත ගීතවල නොඇසෙන සුළු ය.

“සිංහයාගේ අතට කඩුව දුන්නෙ කවු ද? - ලෙලදෙනකොට පැනල ඇවිත් අපිව කයි ද?
පොඩි පුතා අහනවා... එයාට නින්ද යන්නෙ නෑ... කොඩියේ සිංහයට බයයි.... සිංහයගෙ කඩුවටත් බයයි....!“

රළු පරළු ලෙස පෙනෙන මේ වැනි සරල වචන කලින් දවසක හත්තොටුවෙගමගේ වීදි නාට්‍යවලද හමු විය. 

“පාග පාග අහක දාන්ඩ ද? කපල කොටල මරල දාන්න ද?
ඒ කරලා බදාගන්ඩ ද? මෙහෙම කරල රට හදන්ඩ ද?“

අතිශය ‘අමු‘ මෙම වචන අපට සැනසිල්ලේ විඳින්නට ඉඩක් නොදෙයි. ‘රොක්‘ ස්වරූප ගිටාරය, උගුරෙන් එන,  සෙම බැඳුණු කට හඬ අපේ දෙසවන් පීඩාවට පත් කරයි. ඇත්තටම අජිත් විමසන දේවල්, සිහි කැඳවන කරුණු, උපහාසයට නගන කාරණා සැනසෙන්නට දේ ද? නිවුණු හඬකින් අසා, දෙනෙත් පියා, විඳ සැතපෙන්නට දේ ද? ගොරතර කටුක දේවල් ද?

මල් පොකුරු අරන් ආවත් - සඳ එළියෙම නුඹ ආවත්...
යන්න වෙන්නෙ රළු පාරක.... තුන්වෙනි ලෝකයෙ රටක් මේක...“

කසුන් කල්හාරගේ ‘අනන්තයට යන පාර දිගේ‘ හි සුභාවිත වචනවලට එරෙහිව අජිත් ‘ගොරගොර‘ ගාන්නේ එසේ කියමිනි. ඔහු විරහ ගීත ද කියයි. ඒ මෙසේ ය.

ග්‍රීස් ගහේ මුදුනටම ගියා - ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා....
සිංහල අවුරුදු දවසේ...
කොඩිය අරන් මම බැහැල ගියා - ඇය ඔටුනු පැළඳ නගරයට ගියා...
සිංහල අවුරුදු දවසේ....
පබාවතිය මගෙ යන්න ගියා - කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ....“

සියල්ල අපේ දොරමඩලාවෙන් උඩ දමා දෙන, ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශය කරන සිංහල අවුරුදු දවසේ සිද්ධ වුණු දේවල් ය. අවුරුදු කුමරිය ගැන ලියද්දී ග්‍රීස් ගහක් ඈඳීමත්, පබාවතී ලඟ ගැස්ට්‍රික් අම්ල තැබීමත් විඳ දරාගන්නට බැරි සුභාවිත ගීත රසිකයා පබාවතීට හා ගැස්ට්‍රික්වලට වෙනම රූපවාහිනී වැඩ සටහන් බලා ඇති බැවින් මේ දෙක එකට ගැනීම ගැන උරණ වෙයි. ගීතයේ දේශපාලන ප්‍රකාශය අත හැර දමයි.

සුනිල්ගේ ‘අමල් බිසෝ‘ දොර නොහැර දරුවන් රැක බලාගෙන, දීපංකරේ සිට සිය සැමියා එනතුරු හිඳිද්දී, අජිත්ගේ ‘පබාවතී‘ කිරුළ දරා නගරයට යයි. ඒ අකමැත්තෙන් ද නොවේ.

“කොළඹ කට්ටියක් අරන් ගියා - ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා... සිංහල අවුරුදු දවසේ....
රටක් වටින ඇය යන්න ගියා - වැඩිම මනාපය ඇයට ගියා.... සිංහල අවුරුදු දවසේ....“

යුද්ධයට යන්නට, නැතිනම් නොගිහින් සාමයෙන් ගෙදර ඉන්නට, යුද්ධය නැති වන විට බොදුබලය හා එක්වන්නට සුනිල්ලා ගීත කියද්දී අජිත් ද යුද්ධය ගැන ගීත කියයි. යුද්ධයෙන් පසු මානව හිමිකම් පිළිබඳ සෙවූ ජිනීවා අමතයි.

හේයි ජිනීවා... අපි දැන් මරන්නෙ නෑ.... අපි දැන් කනවා විතරමයි
කනකොට කනකොට ඌරො ලස්සනයි... කනකොට හරක් ලස්සනයි... කනකොට සිංදු ඕනමයි...
කනකොට ඔයාව ළඟට ඕනමයි... 

හේයි ජිනීවා... අපි දැන් මරන්නෙ නෑ.... අපි දැන් කනවා විතරමයි
කනකොට වල් ඌරො ලස්සනයි... කුකුල්ලු ගොඩක් ලස්සනයි... කනකොට රටත් ලස්සනයි...!“

රළු වචනවල සැඟවෙන අජිත්ගේ ‘කුණුහරුප‘ වචනවල වන මානව ප්‍රේමය, යුධ විරෝධය අපට නොපෙනෙයි. ඇඳ, උඩුතොල, උරනවා ඇසුණු විගස, කොතරම් බණ අසා, සුපේෂල වී සිටියත් අපේ සිත් සැළෙයි. ‘චික්‘ කියැවෙයි.

සයනයිඩ් කරල යටි තොල හංගා තබා... උඩු තොල විතරක් උරමු ද මගෙ සුදු බබා...
ආණ්ඩුව ඇවිත් අපෙ ඇඳ උඩටම බබා.... උතුර සුන්දර ද මං ගිහිල්ල නැහැ බබා....“

අජිත් ‘වල්‘ විය යුතුය. පාර්ලිමේන්තුව ඇතුළේ බල්ලන් උඩු බුරන බව කියා දේශපාලනයේ වියරුව ගැන කියන, කොඩියේ සිංහයාට පුතා බය වී ඇති බව කියා ජාතික සංස්ථාපිතයන්හි අර්බුද ගැන සිහි කැඳවන, මල් පොකුරු ගෙන අනන්තයට යන පාරෙන් එන ඇයට මෙය තුන්වන ලෝකයේ රටක් බව සිහි කර දෙන, පබාවතිය අවුරුදු කුමාරිය වූ පසු කොළඹට කැමැත්තෙන් ගිය බව කියා ජරාජීර්ණ සමාජය ස්ත්‍රිය විනාශ කරන අන්දම කියන, ජිනීවාවලට අපි දැන් නොමරන බවත්, කන එක පමණක් කරන බවත් කෑගසා කියන, ආණ්ඩුව ඇඳ උඩටම පැන අප සිර කර, අපේ ලිංගික ජීවිත දක්වාම තීරණය කර ඇති බව කියන අජිත් ඇත්තටම ‘වල්‘ ය. ඔහු කිසිදු හොඳක් නොදකියි. නොපෙන්වයි. ඔහුට ‘හොඳ‘ වෙන්නට බැරිකමක් නැත. ඔහු කළ යුත්තේ දොරමඩලාව අසා, උදේ රැයින් නැගිට බණ අසා, සිරි පැරකුම් බලා, පබාවතී මෙහෙය වන රූපවාහිනී වැඩ සටහන රස විඳ, හොඳම වෙදා චැනල් කර ගැස්ට්‍රික්වලට බෙහෙත් ගෙන, උතුර සුන්දර ද බලා ගන්නට ‘ට්‍රිප් එකක්‘ යාමට සූදානම් වීම ය. ඒ ගමන අතරතුර සිංදු කියන්නම ඕනෑනම්, ඔහුට ‘හොඳ‘ සුනිල්ගේ සිංදුවක් තෝරාගෙන කියන්නට පුළුවන.

ඔහු ඒ ටික කර ‘හොඳ‘ ළමයෙක් වන තුරු ඔහු ගොර හඬින් කියන පහත වදන්  ‘හොඳ‘ සුනිල්ගේ ‘දෙවැනි බුදුන් ලෙස‘ ගීතයේ වදන් සමග සසඳා බලමු. 

ඊපීඩීපී, එල්ටීටීඊ...
මව් බිම නැත්තං මරණය කිව් අය
ටෙලෝ ටෙරෝ සහ කරුණා අම්මාන්...

අම්මේ මේ කිසිවකුහට බෑ...
ජීවිත දෙන්නට - වෛරෙන් නොමරා
නුඹ වාගේ...
 අම්මේ මේ කිසිවකුහට බෑ...
පණක් රකින්නට ඔබ වාගේ....

එස්එල්එෆ්පී, යූඑන්පී
එල්එස්එස්පී, එන්එස්එස්පී....
ජේඑච්යූ සහ ජේවීපී,

අම්මේ මේ කිසිවකුහට නෑ...
උඹ වාගේ මා ගැන සැලසුම්...
මගෙ ජීවිතයට....
 
අම්මේ මේ කිසිවකුහට නෑ...
වැටහෙන්නේ දුක අවංකවම....“ 



අජිත්ගේ ‘වල්‘ සිංදු කිහිපයක් : 
උතුර සුන්දර ද බබා - http://www.youtube.com/watch?v=D4sA9KeQ-JA 
පාර්ලිමේන්තුව ඇතුලට - http://www.youtube.com/watch?v=lJ2f1wc2fOs
සුරංගනාවිය - http://www.youtube.com/watch?v=lJ2f1wc2fOs
හිමින් සැරේ ඔබ ආවා - http://www.youtube.com/watch?v=mvSq9OUJBh0
මල් පොකුරු අරන් ආවත් - http://www.youtube.com/watch?v=6xwdEZdTE54
හමුදා භටයට මලක් පෑගුණා - http://www.youtube.com/watch?v=6xwdEZdTE54
ඕගසම් එකේ කෙළවරට - http://www.youtube.com/watch?v=VsAbbcAcmAw
ආමි, නේවි ඇන්ඩ් එයා ෆෝස් - http://www.youtube.com/watch?v=ugvxPlsCcXA
තොල් පෙති ගාවල බලමු ද? - http://www.youtube.com/watch?v=r3f420wmkTE
පෙරුම් පිරුවෙ මම සමණළයෙක් වෙන්න (අලිමංකඩ තේමා ගීතය) - http://www.youtube.com/watch?v=7n5P_Ij0mQA

සංවාද වාර්තා වැඩ සටහන - http://www.youtube.com/watch?v=J-5rxlNrPhY

ඡායාරූපය - http://archives.dailynews.lk/2012/03/28/z_p20-Art.jpg

17 comments:

  1. වල් අජිත් සහ බස් අජිත් යනු දෙන්නෙක් නේද?

    පාර්ලිමේන්තුව සින්දුව අසා තියෙනවා. ඉතුරු ටිකත් බලන්නම්. තෑන්ක්ස් ෆෝ ද ලින්ක්ස්.

    ReplyDelete
    Replies
    1. බස් අජිත් කියන්නේ අජිත් මුතුකුමාරණ. මේ වල් අජිත්, අජිත් කුමාරසිරි. දෙන්නගෙ සමානකම් කීපයක් තියනවා. වචන අමුයි... ටිකක් වෙලා අහන් ඉන්නකොට එපාවෙනවා... ඒකාකාරියි. වෙනස් කම් ගැන කියනවා නම් ලොකුම එක තමයි අ.කු. ගේ ගීත වල පැහැදිලි දේශපාලනයක් තියනවා, අ.මු. ගේ ගීත වල මොනවා තියනවද කියලා ඌ වත් දන්නේ නැතුව ඇති.

      Delete
  2. well said... hariyatama hari...

    ReplyDelete
  3. ඌගේ වොයිස් එක පට්ට..

    රැඩිකල් ගීත අස්සෙ තියෙන "පෙරුම් පිරිවේ මම" ගීතය පට්ටෙ හොඳම එක.. "අනික තොල් පෙති ගාවලා බලමුද..."

    පට්ට පෝස්ට් එක මචෝ..

    ReplyDelete
  4. මෙච්චර දුෂණ වංචා වෙන රටේ, මිනිස්සු බල්ලෝ වගේ හැමදාම පාරේ මරල දාන රටේ, අවරුදු 70වේ 80වෙ අච්චිලට නිදහසක් නැති රටේ, රුපවාහිනියේ, නයිටීඑන් එකේ උදේටයි, දොරමඩලාවෙයි "පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා" කියල මිනිස්සුන්ව අන්දනවා..
    ඊට පස්සේ ඒවා අහන මිනිස්සුන්ට අජිත් ලා දැක්කම තද වෙනවා..

    ReplyDelete
  5. මම අජිත් කුමාරසිරි රස විඳින්නේ මීට වසර 5-6කට පෙර ඉඳන්...මම මේ වසර ගැන දැම්මේ හේතුවක් නිසා.....අජිත්ව අහන්න මම යහළුවන්ව පෙළඹුවා...බොහෝම අකැමත්තෙන් ඒ අය ඇහුවා..මේ අපේ මිනිස්සු ඇත්තට බයයි....විවෘතවෙන්න අකැමතියි......අජිත්ගේ පෙනුමට බයයි......අජිත්ගේ දුම් ඉරිල්ලට බයයි.....අජිත් ප්‍රසිද්ධියේ කරන කියන දේවල් ඔය බොහෝ අය හැංගිලා කරනවා....ඒ ඔක්කොම දේවල් කරලා ශේප් එකේ ආපහු අර හෙල්මට් එකෙන් ඔළුව කවර් කරගන්නවා..........අපේ පසුගාමිත්වයට ප්‍රධාන හේතුවක් තමයි මේ ආත්ම වංචාව.......තාමත් ඉන්නවා අතේ ගහලා නැති මාමලා බාප්පලා.....එහෙමයි කියන්නේ.

    දැන් අර වසර 5-6 ට ඉස්සෙල්ලා අජිත්ගෙ ගීත අහන්න මැලි වෙච්ච මගේ යාළුවෙක් දෙකෙක් දැන් අජිත්ව අහනවා...මම උන්ට ඩ්‍රින්ක් එකක් දාන ගමන් අජිත්ගේ අම්මාගේ රෙද්ද ගීතය අහන්න දුන්නා...උන් මට දොස් කිව්වා...ඩ්‍රින්ක් එක අතරේ පොඩි දුමකින් පස්සේ මම තව බෝතලයක් කැඩුවා. ඒකෙන් දෙකක් දාගෙන කික් එක මශා වෙනකොට මට කියනවා අම්මගේ රෙද්ද ආපහු දාපන්ලු...මොනවා උනත් ඒක ඇත්තලු....අපේ ගොඩක් මිනිස්සු ඇත්තට කැමති එක්කෝ ඩෝප් උනාම නැත්නම් අර කටුව අස්සට රිංග ගත්තාම....මට තේරුම් ගන්න අමාරු ඕකයි...හැබැයි උන් ඇත්ත මොකක්ද කියලා දන්නවා.

    ReplyDelete
    Replies
    1. Aru,
      ahanna meyawath
      Chinthaka Geethadewa
      https://www.youtube.com/watch?v=vhokamoHUXQ
      https://www.youtube.com/watch?v=_gn04FFDzLY
      https://www.youtube.com/watch?v=01dmuv9hEvM

      Delete
    2. @ boo pale.....තැන්ක් යූ......මම අහනවා...ඔය සෙට් එකම...අහනවා විතරක් නෙමේ කියවන්නත් කැමතියි ඔවුන් සම්බන්ධව....මට ඔවුන් වීරයින් නෙමේ...නමුත් තවත් සංධිස්ථානයක්..

      Delete
  6. #මෙව්වඑක
    තනි ඇහැට අඬන්නද, ඇස් දෙකටම අඬන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ (ඕයි). හොඳ විශ්ලේෂණයක් එක්ක ලියැවුන පට්ට ලිපියක්. කොහොමත් ඔය “ජ්‍යේෂ්ඨයො” කියන අයගෙ සමහර වැඩ ඔහොම තමයි (මේ ගැන ටිකක් කළින් කියල තියෙනවා - http://on.fb.me/1bp1Bor). ඉරාජ් වගේ අපේ පරම්පරවේ උන් ගැන විවේචන තියෙනව වගේම, එයාලගෙ සමහර වැඩ ගැන පුද්ගලිකව අගය කිරීමකුත් තියෙනවා. ඒ, ඒ වගේ දේවල් “අමු” උනාට, මේ කියන “ලොකු” කට්ටියගෙ සමහර වැඩ වලට වඩා අවංක බවක් පේන්න තියෙන නිසා. තහනමට ලක්වුනු ඩැඩීලගෙ “ටිකෙන් ටික” ගීතය සම්බන්ධයෙන් සිද්ධ වුන සමහර දේවලුත් මේ ලිපිය කියවනකොට මතක් වුනා. ඒ ගීතයෙන් අවැඩක්, අපහාසයක් වෙන්න පුලුවන් කියල හිතල, මැදහත් බවකින් ඒකට විරුද්ධ වුන පිරිසකුත් ඉන්න ඇති. හැබැයි ඒ වගේම, ගයාන් සුනිල් පෙරේරාගේ පුතා වීම, උන් “හිංගල™” වුනත් “බෞඩ්ඩ™” නොවීම වගේ කරුණු නිසා රෙද්දත් උස්සගෙන බොරුවට විරුද්ධ වුන පිරිසකුත් හිටිය බව පැහැදිලියි. හැබැයි, ඒකට විරුද්ධව “මාර සද්දයක්” දාපු මිනිස්සුන්ට (මගේ සමහර යාලුවොත් ඇතුළුව), ඊට කළින් ආපු භාතිය, සංතුෂ්ලගෙ “බයිල ගමුද remix කරලා“ ගීතය වෙනුවෙන් නිර්මාණය වුනු වීඩියෝ එක එච්චර ලොකු අවුලක් උනාද, නැද්ද කියල නම් දන්නෙ නෑ. ඒ වගේ වැඩක් (ටිකෙන් ටිකෙන් ගීතය), “අමරදේව මාස්ටර්” වගේ කෙනෙක් කෙරුව නම් (මාස්ටර්ගෙ විදියට), අපේ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙයිද?. මාස්ටර්ගෙ අම්මා කතෝලිකද?. මට මතක නෑනෙ ඕයි. ඒක වැඩක් නෑනෙ. මාස්ටර් ගොඩක් දේවල් කරල තියෙන්නෙ අර කියන අහවල් සංස්කෘතික වපසරිය ඇතුළෙනෙ. ඒක නිසා එහෙම අය මොනව කලත් අවුලක් නෑනෙ. ප්‍රශ්න නොකර එහෙයි කියල භාර ගන්න එකනෙ තියෙන්නෙ.

    මේක සංගීත ක්ෂේත්රයට විතරක් අදාළ දෙයක් නෙමේ. සෝම හාමුදුරුවො කිව්ව හැමදේමත් කිසිම විචිකිච්චාවක් නැතිව හිස් මුදුනින් පිළි අරගෙන ක්රියාත්මක වෙන එක තමයි “පස්ට බෞඩ්ඩයො” හැටියට අපේ වගකීම. බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ එහෙමනෙ, "හැමදේම කිසිම විමසීමක් නොකර ඒ හැටියෙන්ම පිළි ගන්න" කියලනෙ (කියන්නෙ බොරුයි කියල හිතෙනව නම් ගජබින්න සූත්රය කියවල බලන්න). අර අහවල් උන්නාන්සේ (https://www.facebook.com/thilina1024/posts/544480265638254) වගේ කට්ටිය එක්ක එකතු වෙලා, ළමයි දුසිම් භාගයක් විතර හදා ගෙන එහෙම අපි නැති වෙලා, වඳ වෙලා යන හැමදේම රැක ගමු. මමත් හිතන් ඉන්නෙ රට වටේම ළමයි ටිකක් හදල තියල යන්න. ඒතකොට මටත්, අහවල් එව්ව රැක ගන්න මමත් මොනවහරි කලා කියල සැනසිල්ලෙ ඇස් දෙක පියා ගන්න පුලුවන්නෙ.

    ReplyDelete
  7. අජිත් කුමාරසිරිට කැම්පස් වලේ හරි ඕනෙම තැනක හරි සිංදු කියන්න ඇති අයිතිය ගැන මගේ අවුලක් නැහැ. මම එකඟ උණා හෝ නොවුනා හෝ උගේ දේශපාලනයට ගීත යොදාගන්න ඌට අයිතිය තියනවා. නමුත් ගීත රසිකයෙක් විදිහට උගේ සින්දු ගැන මට විවේචනයක් තියනවා. පෞද්ගලිකව මම ඒ සිංදු වලට කැමති නැහැ. මොන අරමුණ ඇතුව කලත්, අපි කලා මාධ්‍යයක් භාවිතා කරනකොට ඒකෙ තියන යම් යම් සීමාවන්ට යටත් වෙන්න සිද්ධවෙනවා. මේ කරන්නේ සීමා මායිම් පුළුල් කිරීමක් කියලා තර්ක කරන්න පුළුවන්. ඒකත් හරි කියමුකෝ. නමුත් මම කියන්නේ, අජිත් ගේ හෝ කාගෙ හෝ වේවා දේශපාලනයට මම කැමති නිසා, මම එයාගෙ සිංදු වලට කැමති වෙන්නේ නෑ. සිංදුවක මම කැමති ලක්ෂණ තියනවා නම්, කියන කෙනාගේ දේශපාලනය මට අදාල වෙන්නෙත් නෑ. සාමාන්‍යයෙන් කියනවනේ කලාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියනවා කියලා. මට අනුව නම් අජිත් කුමාරසිරිගේ ආනන්දයක් නෑ, කෙලින්ම ප්‍රඥාවට ගෙනියන්න හදන්නේ... ඒ නිසා කලාවක් වශයෙන් අජිත් ගේ ගීතය අසාර්ථකයි. මේක මගේ කියවීම. සුනිල්ගේ ගීත වල ප්‍රතිවිරෝධතා තිබුණත් (මට නම් ඒ ගැන කිසිම අවුලක් නැහැ), ඔහුගේ ගීත වලින් ලැබිය හැකි දේ (මම මේකට ජීවිතාවබෝධය කියලා නිකමට කියන්නම්, ආනන්දයෙන් ප්‍රඥාව ලැබුණාම, ලැබෙන්නේ ජීවිතාවබෝධය කියලා හිතලා), අජිත්ගේ ගීත වලින් කිසිම විටක ලබන්න බැරි බව තමයි මගේ අදහස. සුනිල්ගේ ගීත මිනිස්සුන්ව විවිධ මානයන් ඔස්සේ හිතන්න පොළඹවද්දී, අජිත්ගේ ගීත මිනිස්සුන්ව ලිමිට් කරනවා කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. අජිත් කියන දේ පිලිගන්න බැරි.. උඹලා කූඩූවල ඉපදුන කුරුල්ලෝ නිසා.. කූඩුවෙන් එළියෙ පියාඹන කුරුල්ලන්ට ලෙඩක් හරි, පිස්සු හරි කියලයි, කූඩූවේ ඉපදුන එකා හිතන්නේ.. මල්ලි කෑම දෙන්න කූඩුවේ දොර අරින වෙලාවක එළියට පැනපන්. එක පාරට පියාඹන්න අමාරුයි. ටිකක් වෙලා යනකොට පුළුවන් වෙනවා.

      ඔය ට්‍රිප් යනකොට, දෙකක් දාගත්තම අපි ඔය එකෙක්ගෙවත් සින්දු අහන්නේ නෑ නේ. උන් ගයපුවා අපි කියනවා.. ඕකෙස්ට්‍රා නෑ. බොන්ගෝ එකක් පොක්ස් එකක් තියෙයි වැඩිම උනොඉත්, ටොනික් පියන්, රුපියල් දෙකේ කාසී. හිස් ගල් බෝතල්, හිස් මෙගා බෝතල්, බස් එකේ තහඩු ඒවා තමයි මියුසිකල් ඉන්ස්ටුමන්ට්. අන්න එතනයි නියම සංගීතය තියෙන්නේ.. අනික්වා බිස්නස් එකට කරන ඒවා. අන්න එතනයි ආනන්දය තියෙන්නේ.. උන්ගේ රෙද්ද අහන්නේ නැතිව අපිට පුළුවන් විදියට අපි ආතල් එකක් ගන්න එක. ඒකයි නියම ආනන්දය. සුනිල්ගෙවත්, අජිත්ගෙවත් ඒවා අහන එක නෙමෙයි.. එහෙම හිත නිවාගන්න සංගීතය අහන්න ඕන නම්.. ලංකාවේ එකෙක්වත් නෑ.. හැබයි යූ ටියුබ් එකේ නම් ඕන තරම් තියෙනවා.. මේවා තිත්ත ඇත්ත.. අපි සුනිල් විඳින්නෙත් අජිත්ව විඳින විදියටමයි.. මේ ළිපියෙම තියෙනවානේ දෙන්නම කියන්නේ එකම දේ.. නමුත් කරන්නේ වෙන දේවල්.. ඔය ඔක්කෝම බොනවා.. අජිත් කලිසම් ඇඳන් බොනවා.. සුනිල්ලා අමරදේව මාස්ටර්ලා සරම ගහගෙන බොනවා.. අපි පැත්තක ඉඳන් උන්ව වර්ග කරනවා.. සංගීතයට භාෂාවක් ජාතියක් නෑ.. තනුවෙ තමයි ඔක්කෝම තියෙන්නේ..

      Delete
  8. සමහර විට අජිත් කියපු මේ සින්දු අමරදේව හරි "හොඳ" සුනිල් හරි කිව්වා නම් මේ කතන්දර මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.., ඒත් කරුමෙට අජිත්ගේ ටකරං හඬට ඒ අකුරු හරි ලස්සනට ගැලපුනා. සුභාවිත ගීත කියන්නේ සංකල්පයක්.., අපි සින්දුවක් දිහා බලන විදිය අනුව සුභාවිතගීතය කියන සංකල්පයේ පාරමිතිය වෙනස් වෙනවා. නිදසුනක් විදියට නිහාල් නෙල්සන්ගේ "ගුණේ අයියගේ කාමරේ" නිදහස් මත දරනන්ට අනුව සුභාවිත ගීතයක්.

    ReplyDelete
  9. ajithge sindu matanama ahenne na danenawa mata ahena deta wada danena deta kamathi nisa mama ahanawa...samaharawita oya loku sangeetha karayonge kona walin baluwama mama moda athi..ithim mata e ayage konen balanna oni naa mata danena de mama ahanawa.....

    ReplyDelete
  10. ඔබගේ අදහස ඉතාම පැහැදිලව ලියා තිබෙනවා. මට ඔබගේ පොස්ටුව තවත් අදහස් දමා විනාස කිරීමට අවැසි නැති නිසා නිහඩව මේ පෝස්ටුවේ ආස්වාදය විදිමි.

    ReplyDelete
  11. මරු. අජිත්. මරු. ලිපිය. මරු . ඒ රලු හඩට ඒ කුනුහරුප වචන රාව ප්‍රතිරාව දෙනකොට... මරු. ඉතා සන්සුන්ව ධ්‍යානගතව ඉන්න අමාරුයි එතකොට. කැළඹෙන්න පටන් ගන්නවා. හිතන්න හිතෙනවා. එතකොට තමයි වැඩේ. හිතන එක අමාරුයි. ඇස් පියාගෙන කකුල වනනවට වඩා. හොදේ නරකත් නරකේ හොදත් තියෙනව. දෙකටම දෙක නැතිව පවතින්න බැහැ. හත්තිලව්වේ.... මේ පදවැලත් අජිත් වෙනුවෙන්
    හොදේ නරකත්
    නරකයේ හොදත්
    තියෙනව
    හත්තිලව්වේ....
    මේ දෙකම
    දෙකටම නයයි
    එහෙට මෙහෙට පැද්දෙන
    පිරිමි ලිංගය
    හරිම වල්
    ගැහැනු ලිගුවක
    සැගවෙන
    බයගුල්ලෙක්
    හත්තිලව්වේ
    මේ දෙකම
    දෙකටම නයයි
    පට්ට කලුවරට
    හද ආදරෙයි
    දවල්ට හද වැඩක් නැ
    හත්තිලව්වේ
    මේ දෙකම දෙකටම නයයි

    ReplyDelete
  12. ලංකාවේ සරසවිවල වියළි අධ්‍යාපනයට එරෙහිව, වැසුනු දොර විවර කිරීමට තැත් කරන ප්‍රියන්තට ස්තූති යි.
    පහත වීඩියෝවේ වැදගත්කම නව විතැන් වූ සංගීතවේදීන්, සම්මත මාධ්‍ය ධාරාවේ වටහාගත නොහැකිතාවයට මුහු‍ණ දෙන අයුරු එහි මනාව දිස් වීම යි. ඔවුන්ට සමීප නිවේදකයෙක් වෙනුවට මේ ගතානුගතික නිවේදකයාම වැඩ සටහන මෙහෙයවීම දෙපාර්ශවයටම සාධනීය යි. මෙතැන දෙපාර්ශවයම සාපේක්ෂ අවංකභාවයකට අවංකවම උත්සාහ කරනවා.
    https://www.youtube.com/watch?v=Rtqes8523i4

    ReplyDelete
  13. thadi lollek uba nam

    ReplyDelete