Sunday, October 30, 2016

දෙව්ලොව දරුවෝ (ජීවිත සිනමාව / රිවිර සිනමා කොලම - 6)


අලී කුඩා නව හැවිරිදි දරුවෙකි. සිය ආදරණීය සත් හැවිරිදි නැගණිය සාරාගේ ඉරිණු සපත්තු යුවළ අලුත්වැඩියා කරගත් විගස ඔහු නිවස කරා දිව යන්නේ පසුදා අලුයම පාසැලට යන්නට නොනිත් ආසාවකින් මග බලා සිටින ඈ සතුටු කරනු රිසියෙනි. අතරමග කුඩා වෙළඳ සැළක අම්මා වෙනුවෙන් අර්තාපල් මිලට ගන්නට නතර වන නිමේෂය ඒ බලාපොරොත්තුව තමන් වෙතින් ඉවත් කරන්නට හේතු සාදනු ඇතැයි ඔහු මොහොතකට හෝ සිතන්නේ නැත. නමුත්, එහි දොරටුව අභියස ඔහු තැබූ නැගණියගේ සපත්තු යුවළ, ඉවත ලන කැඩුණු යුවළකැයි වරදවා ගනිමින්, කසළ එක් රැස් කරන්නා ඒ රැගෙන යාමත් සමග අලී අසරණ වේ. දුර්වරණව ගිය, අණ්ඩ යෙදූ, රෝස පැහැති කබල් සපත්තු ජෝඩුවක්, කුඩා ළමුන් දෙදෙනකු සමග පැමිණ සිනමා තිරය මත ජීවිතය චිත්‍ර‍ණය කරන්නේ ඉන් අනතුරුව ය. ඒ 1997 වර්ෂයේ තිරයට පැමිණ, පසු වර්ෂයේ දී හොඳම විදේශ භාෂීය සිනමා කෘතිය ලෙස ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ, ඉරාන සිනමා කතුවර මජිඩ් මජිඩිගේ ‘දෙව්ලොව දරුවෝ‘ (Children of Heaven) සිනමා පටය තුළ දී ය.

සංස්කෘතික වශයෙන් සහ දේශපාලනික වශයෙන් ද ඉමහත් බාධක හමුවේ වුව, සංස්කෘතික විප්ලව සමයෙන් පසු යුගයේ ඉරාන නව සිනමාව බොහෝ ජයග්‍ර‍හණ හිමිකර ගත්තේ ය. ඒ සමය තුළ විශිෂ්ඨ සිනමා කෘති දායාද කළ අබ්බාස් කියොරස්තාමි, මොහ්සෙන් මක්මල්බාෆ්, ජෆාර් ෆනාහි ප්‍ර‍මුඛ නව සිනමා නිර්මාණකරුවන් අතර මජිඩිට ද හිමිවූයේ  මුල් පෙළ අසුනකි. සංස්කෘතික සීමාවන් අභිබවමින් දේශපාලනික සිනමා නිර්මාණ තනන්නට, සෙසු බොහෝ සමකාලීනයින් මෙන්ම ඔහු ද, ළමා චරිත පෙරමුණට කැඳවී ය. සපත්තු ජෝඩුවක් සොයමින් ඉරාන නගරාවකාශයේ පහළ මධ්‍යම පාන්තික නගරවැසියන්ගේ ජීවන බිම් පුරා දිවයන්නේ එසේ ආ චරිතද්වයක් වූ අලී සහ සාරා ය.

මාසය අවසන සොච්චම් මුදලක් අතට ගෙන නිවසට ගොඩ වදින පියාට සපත්තු ජෝඩුව අහිමි වූ පුවත පවසනු නොහැකිව අසරණ වන අලී සහ සාරා පාසැල් ගමන සඳහා, ඉතිරිව ඇති එකම සපත්තු යුවල වන අලීගේ සපත්තු මාරු කරගනිමින් පැළඳ භාවිතා කරන්නට තීරණය කරති. ඉරාන පාසැල් කාල සටහන්, පිරිමි සහ ගැහැණු දරුවන්ට වෙන් වෙන් පාසැල් කාල වෙන් කර තැබීම සිය අවස්ථාව කරගන්නා සාරා පළමුව පාසැලට ගොස් හැකි වේගයෙන් නිවස කරා දිව එන අතර, මග රැදී සිටින අලී ඒ සපත්තු පැළඳ සිය පාසැල කරා දුවයි. අයියාගේ පාදවලට වඩා කුඩා සිය සිගිති පාදයෙන් ගිලිහී මග හැලෙන සපත්තු නිසා අසරණ වන සාරා සහ නංගීගේ වේගය කෙතරම් වුවත් පාසැලට නිසි කාලයට දිව යන්නට නොහැකිව මුල්ගුරුවරයාගේ උදහසට ලක්ව අසරණ වන අලී ඉරුණු සපත්තු යුවළට වඩා විශාල ජීවන අරගලයක ‘කොලාජ්‘ කැබලි අප අභියස සිතුවමක පරිද්දෙන් එක් කරති. ආගමික හා සංස්කෘතික වශයෙන් වඩාත් එකිනෙක වියුක්ත පරිසරයක වුව ආර්ථිකය මත පදනම් වන ජීවන අරගලයේ ඇති සමීප බව ඒ කොලාජ් රූ මත අපගේ ජීවිතය තබමින් අපට වටහා ගත හැක.

අලී... මේ රස්සාව හරියට කර ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අම්මට හොඳ ශීතකරණයක් අරන් දෙන්න. ඕනෙ කරන බඩු මුට්ටු අරන් දෙන්න. ඇයි... ඒ විතරක් ද.... අපිට පුළුවන්  මීට වඩා ලොකු කුලී ගේකට යන්න.“

චිත්‍ර‍පටයේ එක් අවස්ථාවක, අහම්බෙන් ලැබුණු සති අන්ත රැකියාවක් වන උද්‍යාන අලංකරණ කටයුත්තක් සඳහා ගොස් එන අතරතුර, ලැබුණු මුදලින් සතුටට පත් අලීගේ තාත්තා ඔහු අමතමින් කියයි. තාත්තාට සඟවාගෙන සිටින, ඔහු සිත තුළ රිදුම් දෙන නැගණියගේ සපත්තු යුවළේ කතාව එක් වනම අලීගේ මුවට නංවන්නේ මෙවන් පිළිතුරකි.
ඇයි තාත්තේ... සාරාට හොඳ සපත්තු කුට්ටමක් අරන් දෙන්නත් පුළුවන්නෙ!“

අලීගේ හෝ තාත්තාගේ සිහින තිර කරගන්නට ඉඩ නොදී ඔවුන්ගේ පාපැදිය, තිරිංග නොමැතිව අනතුරකට ලක් වේ.

තියුණු අරගලයක අවසානයේ අලීට මුණ ගැසෙන්නේ පාසැල් අතර පවතින දිගු දුර ධාවන තරගයකි. එය අලීගේ සිහිනයට ඇති දුර, එනම් නැගණියගේ සපත්තු යුවළට ඇති දුර, ඉතා ආසන්න තැනක බව දක්වයි. ඒ එහි ත්‍යාග ලැයිස්තුවේ සපත්තු යුවළක් ද ඇතුළත් කර තැබීමෙනි. එහෙත්, විශාල තෑගි අතර, එක් කෙළවරක වන කුඩා සපත්තු ත්‍යාගය, එහි තුන්වන තැන දිනන්නාට හිමිවන අමතර අංගයකි.

සිය ගණනක් පාසැල් ළමුන් සහභාගි වන තරගයට පාසැල නියෝජනය කිරීමට වරම් දිනන්නට ද අලීට දුෂ්කර මාවතක් හමු වේ. ඉන් ද ජය ගෙන ඔහු තරගයට එන්නේ, සියලු තරගකරුවන් තුළ නොවූ, වෙනස් නමුත් අධිෂ්ඨානශීලී ඉලක්කයක් සහිතව ය. ඒ තෙවැනි තැනයි!

චිත්‍ර‍පටයේ අවසානය, හා ඒ හරහා ලැබෙන ජීවිත පරිඥාණය විඳගන්නට මම ඔබට ඇරයුම් කරමි. මෙය අන්තර්ජාලය ඔබට සොයා දෙන සිතුවමකි. එය විඳීම කැඩුණු කුඩා සපත්තු යුවළකට වැඩි යමක් ඔබට තිළිණ කර දෙනු ඇත.



-      ප්‍රියන්ත ෆොන්සේකා - 

Friday, October 14, 2016

හුස්ම (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -5 )


මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු අත වන්නේ සිය මුණුපුරාගේ ඇස් විශේෂඥයකු වෙත පෙන්වීම සඳහා ගම් පෙදෙසේ වෛද්‍යවරයකු වෙතින් ලද තුණ්ඩු කැබැල්ලකි. නගරයට කෝඩුකාරයින් වන ඔවුන් දෙදෙනා සමග තනි නොතනියට එන, පර්ෂාගේ මාමා කෙනෙකු වන, දිවාකර් නැමති තරුණයා ද ඔවුන් සමග වෙයි. නගරයේ ජනාකීර්ණ රෝහලක සිටින අක්ෂි විශේෂඥ සානි පර්ෂාගේ ඇස් පරීක්ෂා කොට ලැබෙන වාර්තා කෙළවර ඔහු වහා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව තීන්දු කරයි. ජීවිතයේ කිසිදු දිනක මුහුණ නොදුන් අර්බුදයකට මහලු විෂාරේ මුහුණ දෙන්නේ ඒ හා සමග ය. ඒ පර්ෂාගේ ජීවිතය රැකෙන එම ශල්‍යකර්මය ඔහුට දෙනෙත් අහිමි කරවන්නක් බව ඇසීමෙනි. රෙටිනොබ්ලාස්ටොමා නැමති කලාතුරකින් හමුවන අක්ෂි පිළිකාවක් පර්ෂාගේ ඇස් ආක්‍ර‍මණය කොට ඇත.

භාෂා 26කින් සිනමා නිර්මාණ හමුවන ඉන්දියාවේ මහා රාෂ්ට ප්‍රාන්තයෙන් එන මරාති සිනමාවට අයත් ‘ෂ්වාස්‘ (Shwaas) නැතිනම් 'හුස්ම' නම් ලබන චිත්‍ර‍පටය සන්දීප් සවාන්ත් නැමති නිර්මාණකරුවාගේ පළමු නිර්මාණයයි. කෝටි ගණනින් වැය කොට නිපදවෙන දැවැන්ත සිනමා නිර්මාණ සියල්ල අභිබවමින් 2004 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය සඳහා වරම් ලබන්නටත්, එහිදී හොදම විදේශ භාෂිත චිත්‍ර‍පටය සඳහා වන ලැයිස්තුවේ සයවන තැන ලබන්නටත්, ඉතා අඩු මිලකින් නිපදවෙන, ප්‍රාන්ත සිනමාවකින් ආ ‘ෂ්වාස්‘ සිනමා කෘතිය අවස්ථාව හිමි කරගන්නේ ජීවිතය පිළිබඳ ඒ හෙළිකරන විශිෂ්ඨ රූප සන්ද්වනියේ ඇති පොහොසත්කම හේතුවෙනි.

වෛද්‍ය සමාජ සේවිකාවක ලෙස කටයුතු කරන, නාගරික තරුණියක වන, ආශාවරීගේ කරුණාබර මග පෙන්වීම හා පහදා දීම හේතුවෙන් පර්ෂාගේ ජීවිතය මුහුණ දී ඇති අනතුර වටහා ගත්ත ද, නෙත් අඳ කොලු පැටියකු බවට පත්වන්නට නියමිත සිය මුණබුරු සුරතලාගේ හෙට දිනය පිළිගන්නට නොහැකිකමින් මහලු විෂාරේ හඬා වැටෙයි. ගම්මානයේ වෙසෙන පර්ෂාගේ ආදරණීය මවට සත්‍යය හෙළි කළ නොහැකි වීමත්, නන්නාඳුනන නගරයක දී පිළිගන්නට අපහසු යථාර්ථයක් හමුවේත්, කිසිවක් නොවැටහෙන පර්ෂාගේ සුරතල් දඟකාරකම් හමුවේත් උභතෝකෝටිකයකට මුහුණ දෙන විෂාරේ ඒ හිත පෙළන සත්‍යය පිළිගත හැකි මගක් නොමැතිව අසරණ වෙයි. සියල්ලටම වඩා ඔහු පෙළන්නේ ශල්‍ය කර්මය තෙක් සතර වටින් වට කළ කුඩා වාට්ටුවක පර්ෂා නතර කළ පසු ඔහු දිගින් දිගටම ආලෝකය සහ ලෝකය දකින්නට සිදු කරන පෙරැළිය හමුවේ ය.

‘ෂ්වාස්‘ චිත්‍ර‍පටයේ තීරණාත්මක අවසානය එළැඹෙන්නේ හිටිවනම අතුරුදන් වන විෂාරේ සහ පර්ෂාගේ පිළිබඳ තොරතුරක් නොමැතිව තරුණ දිවාකර් අසරණව වැළපීමත් සමගම ය. ආශාවරී, වෛද්‍ය සානි ඇතුළු විෂාරේ සහ පර්ෂා හඳුනන්නන් පළමුවත්, සමස්ථ රෝහල දෙවනුවත් මේ අතුරුදන් වීම හේතුවෙන් දැඩිව කලබල වේ. සිය සෙනෙහෙබර මුණුපුරාගේ ඛේදනීය අනාගතය පිළිගත නොහී ඔහු ද සමග විෂාරේ දිවිනසාගන්නට ඇතැයි යන සිතුවිල්ල එකිනෙකා අතර අප්‍ර‍කාශිත හැඟීමක් ලෙස නැගී එයි.

‘ෂ්වාස්‘ සිනමා කෘතියේ අවසන් දර්ශන පෙළ, ජීවිතය යනු කවර කටුක යථාර්ථයන් හමුවේ වුව අත්හැර දැමිය නොහැකි හා අත්හැර දැමිය නොයුතු දෙයක් බවත්, ඒ යථාව සමග ගණුදෙනු කිරීම වඩා අනගි ක්‍රියාව බවත් අපට පසක් කර දෙන්නට සහාය දක්වන රූප එකතුවකි. ගිනිගත් රෝහලත්, කෝපයට පත් වෛද්‍යවරයාත් අභියස සතුටින් පිරී සිටින පර්ෂා සමග නිසලව පෙනී සිටින්නේ මහලු විෂාරේ ය. වෛද්‍යවරයාගේ කේන්තිය හමුවේ ඔහු ලබා දෙන පිළිතුර ඔහු මතු නොව තිරයෙන් මෙපිට සිට නෙත් දල්වා බලා සිටින අප සැම ක්ෂණිකව සලිත කරන්නට සමත් වෙයි.

දොස්තර මහත්තයෝ, පර්ෂා ලෝකෙ දකින්නෙ තව දවසයි දෙකයි... ඊට පස්සෙ අව්ව, වැස්ස, දේදුන්න, ගස් කොළ, පාට, ලස්සන මේ කිසි දෙයක් නැතිව එයාගෙ ලෝකෙ අඳුරු වෙනව... පර්ෂා අඳුරත් එක්ක ජීවත් වෙන්න ගනීවි... අපි දකින කිසි දෙයක් දකින්නෙ නැතුව එයා ජීවත් වේවි... මම පර්ෂා එක්ක ඇවිදින්න ගියා... හෙට එයාට දකින්න බැරි වෙන ගොඩාක් දේවල් මම එයාට පෙන්නුවා... අඳුර එන්න කලින් මම එයාට පෙන්නුවා ලෝකය... එයාට ඉතිරි වෙලා තිබුණු අන්තිම පැය කීපය ඇතුළෙ දි මම එයාගෙ ඇස් රූපවලින් පිරෙව්වා...

2004 ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනා ගන්නේ ද ‘ෂ්වාස්‘ ය. එය අපට කියා දෙන්නේ ජීවිතයයි. ඉතා කුඩා වැයකින් නිර්මිත සිනමා කෘතියක රූප වියමන තුළ සැඟවූ අමිල හැඟවුම වූ, ජීවිතයයි.


-      ප්‍රියන්ත ෆොන්සේකා -

  

Thursday, October 6, 2016

එකෙකුවත් අඩු නැතිව! (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -4 )




චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට කිසිවකුත් නොමැති තැන ගම්මුලාදෑනියා ඒ සඳහා කැඳවාගෙන එන්නේ පාසැලේ දරුදැරියන්ට වඩා තරමක් වයසින් වැඩි, දහතුන් වියැති, වෙයි මින්ෂි නමැති දැරියයි. ඉගැන්වීමට ඒ තරම් දේ නොදන්නා ඇය, මසක් අවසානයේ ලැබෙන බවට පොරොන්දු වූ මුදල වෙනුවෙන්, පෙළ පොත්වල ඇති කරුණු යළි පිටපත් කරවමින් ද, තමන්ගේ මතකයේ ඇති එකම ගීය ඔවුන් වෙත කියා දෙමින් ද පාසැල පවත්වාගෙන යයි. එහෙත්, සියල්ලටම වඩා, ඇය දැඩිව රකින්නට යත්න දරන්නේ ස්ථිර ගුරුවරයා පිටව යන්නට මත්තෙන් දැඩිව අවධාරණය කළ කරුණකි.

වෙයි මින්ෂි, උඹ දරුවන්ව හොඳට බලාගන්න ඕන. දහදෙනෙකුට වැඩියෙන් දැනටමත් යන්න ගිහිල්ල. මට තවත් උන් නැති කරගන්න ඕනෙ නැහැ. ගම්මුලාදෑනිය උඹට යුවාන් පණහක් පොරොන්දු වුණා; ඒක උඹට දෙන බව එයා සහතික වුණා. මම එනකොට මේ දරුවො සේරම ඉතිරි වෙලා හිටියොත් - එකෙකුවත් අඩු නැතිව - උඹට තවත් යුවාන් දහයක් ලැබේවි

සිනමා පටය දිගහැරෙන්නේ ‘එකකුවත් අඩු නැතිව‘ යළි පාසැල ස්ථිර ගුරුවරයා වෙත භාරදීම සඳහා වෙයි මින්ෂි දියත් කරන අරගලය ඔස්සේ යමිනි.

චීන සංස්කෘතික විප්ලව සමයේ වසා දැමුණු බීජිං සිනමා පාසැල 1978දී යළි විවෘත කෙරුණු පසු ඉන් පිටවන මුල්ම උපාධිධරයින්ගෙන් අයෙකු වන, චීන පස්වන පරපුරේ සිනමාකරුවන් අතර ප්‍රමුඛ නාමයක් හිමි ෂැං යිමෝ, ඉහත ‘වෙයි‘ගේ කතාවේ කතුවරයා ය. ඔහු තැනූ අසිරිමත් සිනමා පට අතුරින් Not One Less (‘එකෙකුවත් අඩු නැතිව‘) යනු 2000  වර්ෂයේදී නිර්මාණය කෙරුණු, වෙයි සහ ඇයගේ ‘ශිෂ්‍ය ශිෂ්‍යාවන්‘ පිරිසගේ පුවත රැගත්, චීනය මතු නොව ආසියාකරයේත්, අඩු වැඩි වශයෙන් ලෝකයේත් අධ්‍යාපන විෂමතාවන් පිළිබඳ විවරණයක් වන අතරම මානව සබඳතා විෂයයෙහි අපූර්ව සංවේදී සිනමා වියමනක් ද වේ.

කුඩා ගුරුතුමිය වූ ‘වෙයි‘ගේ අධිෂ්ඨානය කෙසේ වුවත්, දුප්පත්කම බොහෝ පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල කරයි. වගා බිම් වපුරන සමයේ ඒ කටයුතුවලට සහාය දීමටත්, රෝගී මාපියන්ගේ ජීවන දුෂ්කරතා මග හැරවීමටත් පාසැල් සිසු-සිසුවියෝ පාසැල හැර දමා යන්නට යත්න දරති. ඒ තත්වයන් මත හෝ දිවීමේ දස්කම නිසාම නගරයේ ක්‍රීඩා පාසැලට ශිෂ්‍යත්වයක් ලබා දී රැගෙන යන කුඩා දැරියගේ හෝ වෙන්වීම පිළිගන්නට ‘වෙයි‘ සූදානම් නැත. ශිෂ්‍යත්වයක් දිනන ක්‍රීඩාශූරී දැරිය සඟවා තබමින් ද, නිවෙස්වල බලපෑමෙන් නතර වන සිසු-සිසුවියන් සොයා මාපියන් වෙත ඇවිද යමින්ද ‘වෙයි‘, එකෙකු වත් අඩු නැතිව පාසැල යළි භාර දීමට සියලු වෙර දරයි. එහෙත්, විටෙක සාර්ථක නොවන ඇගේ ක්‍රියාදාමය එහෙම පිටින්ම වාගේ බිඳ වැටෙන්නේ, ඇය පාසැලේ ‘උගැන්වීම‘ ඇරඹූ දින පටන්ම සියලු පාසැල් කටයුතුවලට බාධා එල්ල කළ ‘කරදරකාර‘ කුඩා ෂැන්ග් පාසැලට නොපැමිණීමත් සමගම ය.

සිය රෝගී මවගේ යොමු කිරීම මත ෂැන්ග් රැකියාවක් සොයා ෂැන්ග්ජියාකොව් නගරය වෙත ගොස් ඇති බව දැනගන්නා ‘වෙයි‘ සියලු පාසැල් දරුවන්ගේ සහාය ඇතිව ඔහු සොයා යෑමේ මෙහෙයුමක් අරඹයි. ආරම්භක දිනයේදීම ‘වෙයි‘ ගුරුතුමියක නොව ‘අක්කා‘ කෙනෙකු බව කියමින් ඇය ප්‍රතික්ෂේප කළ පාසැල් දරු පිරිස එකාවන්ව ඇය හා බැඳෙමින්, ෂැන්ග් සොයා නගරයට යන්නට ‘වෙයි‘ට අවශ්‍ය මුදල් සොයන්නට ගඩොල් වැඩපළක ද සේවය කරමින් සිදු කරන ක්‍රියාකාරකම් මාලාව, විටෙක ළමා වියේ අව්‍යාජත්වය හරහා ද, විටෙක අවිධිමත් අධ්‍යාපනයේ අපූර්වත්වය හරහා ද, ඒ සියල්ලටම වඩා මිනිසත්කම පිළිබඳ ගැඹුරු සංවේදනා සහිත රූපමය වියමනක් හරහාද තිරයේ චිත්‍රණය වෙයි.

දුෂ්කර මගක් පාගමනින් ගෙවා ෂැන්ග්ජියාකොව් වෙත එන වෙයි, දහස් සංඛ්‍යාත මිනිසුන් අතර ඇවිද යමින් ෂැන්ග් විමසන්නේ, නගරය ඇමතිය හැකි රූපවාහිනිය සිය ඇමතුම් මග ලෙස හඳුනාගනිමින් ප්‍රධාන නාලිකාවක කාර්යාල දොරටුව වෙත පියනගා එහි ප්‍රධානියා මුණගැසෙනු වස් වරු ගණනක් එතැන රැඳෙයි.

චිත්‍රපටය කෙළවර වන්නේ සජීවී විකාශයක් හරහා කඳුළු සළමින් තමන් අමතන වෙයි දකින ෂැන්ග් ඇය හා එක්ව, තෑගි භෝග රැසක් හා ටෙලිවිෂන කැමරා පිරිවරාගෙන ගමට යළි පැමිණීමෙනි. ෂැන්ග් යළි පැමිණිය ද දහස් ගණනක් දරුවන් තවමත් චීනයේදී ප්‍රාථමික අධ්‍යාපන සමයේදීම පාසැල් හැර යමින් ළමා ශ්‍රම හමුදාවට එක්වන බව අවසන් නාමාවලියට පෙර ෂැන්ග් යිමෝ තිරයේ ලියයි.

‘එකෙකුවත් අඩු නැතිව‘ දරුවන් පාසැලේ තබා ගැනීම ‘වෙයි‘ගේ සිනමා තිර විරුකමින් ගැලවී අපගේ ජීවන පැවැත්ම වෙත සම්ප්‍රේෂණය වන්නේ ඒ හා සමගිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -       

Saturday, October 1, 2016

“මගේ ජීවිතය මට දෙන්න!“ (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම 03)


1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (The Cloud Clapper Star - වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි. චිත්‍ර‍පටය මුළුල්ලේම අප දැඩි ලෙස ආසක්ත කරගත් මේ මහරු තරුණියගේ ඛේදනීය අවසානයේ, ඇගේ වේදනාබර ඉල්ලීම අපගේ හදවත් තුළ ද නින්නාද නගන්නට ගන්නේ, චිත්‍ර‍පටයේ දී ඇගේ උස් වැළපීම කඳු මුදුන් සිසාරා දෝංකාර දෙන පරිද්දෙනි.

බංග්ලා දේශය නමැති නව රාජ්‍යය නිර්මාණය කරමින් ඉන්දියාවෙන් වෙන්ව නැගෙන බෙංගාලයේ නැගෙනහිර භූමිය ජීවිත කාලයක් මුළුල්ලේ තමන් උපත ලබා, හැදී වැඩුණු බිමක අයිතිය මිනිස් කණ්ඩායමකට අහිමි කළේ ය. ඒ කණ්ඩායමක සාමාජිකයකු වන ඝටක්, ඉන්දීය මහා සිනමාකරු රායි නිසාවෙන් වැසී ගිය ප්‍ර‍බල සිනමා කතුවරයෙකි. සිය දිගු සිනමා ගමන තුළ ඔහු නිමවූ සිනමා පට සියල්ලම පසුපස අනන්‍ය සමාජ සංස්කෘතික භූමිය අහිමි කළ වින්දිතයාගේ වේදනාව දැඩිව තැවරී තිබේ. නීතාගේ ශෝචනීය වත අපට මුණගැසෙන්නේ ඒ හැගුම්බර සිනමා ප්‍ර‍කාශන අතර ඉහලින්ම ලියැවුණු ‘මෙගා ධක තාරා‘ සිනමා පටය තුළදී ය.

දේශ සීමා බෙදී වෙන්වීම හේතුවෙන් සරණාගතයින් ලෙස කල්කටා නගරයට ආසන්න බිමක ජීවත් වන්නට සිදුවන නීතාට සිය පවුලේ සාමාජිකයින්ගේ කුසගිනි නිවන්නට සිදු වෙයි. ඇයගේ පියා විශ්‍රාමික ගුරුවරයෙකි. වියපත් මව නිවසේ අහර සරිකරන්නියයි. වැඩිමල් සොයුරු ගායකයකු වීමේ විසල් ආසාවකින් මඩනා ලදුව, රැකියාවක් සොයන්නට වෙහෙස නොවී කටහඩ අභ්‍යාසවල යෙදෙයි. ක්‍රීඩකයකු වීමේ උනන්දුවකින් පෙළෙන, කම්කරු රැකියාවක නිරත වන බාල සොහොයුරු, රූපය මුල් තැනෙහි තබන නැගණිය මෙන්ම අනාගත අපේක්ෂා හේතුවෙන් නීතා හැරදමා නැගණිය විවාකරගන්නා පෙම්වතා නීතාගේ දිවියෙහි කටොළු තව දුරටත් තීව්‍ර‍ කරන්නට පසුබිම් සාදන්නෝ වෙති. අධ්‍යාපනය, ප්‍රේමය, ජීවිතයේ සතුට සහ නිදහස යන සියල්ලම සිය පවුල වෙනුවෙන් කැප කරමින්, අනේක ගැහැට විදිමින් නීතා වෙහෙස වන්නේ ස්වාත්මය නොලබන සංතුෂ්ටියක් පවුලේ සෙසු සාමාජිකයන්ට ළගා කර දෙන්නට ය.

නීතා ‘මෙගා ධක තාරා‘ නාමාර්ථය තහවුරු කර දෙන වළාකුළින් වැසී යන තාරකාවයි. චිත්‍ර‍පටයේ ආරම්භයේ අපට හමුවන, ඇයට ආදරය කරන ඇගේ පියා අතරමගදී රෝගියකු බවට පත් වෙයි. බාල සොයුරාගේ ආදායම් ද බිවැටෙද්දී ‘බත් පත දිනා දෙන්නිය‘ නිවසින් බැහැර වේය යන අම්මාගේ ‘ආත්මාර්ථකාමී‘ සිතුවිල්ල ඇයට පෙම්වතා අහිමි කරන්නට මග විවර කර දෙයි. ඔහු දිනාගන්නී ඇයගේම දගකාර නැගණියයි. ගායක සිහිනයෙන් ගම හැර යන, නමුත් සිය සොහොයුරියගේ අසීමිත කැපවීම හදුනාගෙන සිටි වැඩිමහල් සොයුරා ගායකයකු ලෙස යම් පිළිගැනීමක් ලැබ ගමට යළි පා තබද්දී දකින්නේ, සියල්ල අවසන් වූ පසු, ක්ෂය රෝගියකු වීම නිසා නිවසේ මායිමකට තල්ලු කෙරුණු නීතා ය. එවකට පිළියම් විරහිත රෝගයක් ලෙස පිළිගත් ක්ෂය රෝගය අවසානයේ ඇයට බල කර සිටින්නේ කඳුකර සාත්තු නිවාසයක් වෙත යන්නට ය. ඒ මරණය පැමිණෙන තෙක් රැඳ‍ෙන්නට මිස වෙන යමකට නොවේ. නීතා ජීවිතය ඉල්ලන්නේ එතැන දී ය.

සිය ජීවන මංපෙත් වැටී සැදුණු බිමකින් යමෙකු ඈත් කර තැබීම ඔහුට හෝ ඇයට මරණීය වේදනාවක් ගෙන දෙන්නට ඉඩ ඇති දෙයකි. ඒ විසල් වේදනාව සමගින් දිවි ගෙවූ ඝටක් නීතා ඇතුළු සිය සිනමා චරිත හරහා ඒ වේදනාව අප වෙත යොමු කර දැක්වී ය. සිනමාව ජීවිතය විඳින්නට මතු නොව විඳවමින් ගත කරන්නට සිදු ව ඇති ජීවිතවල ගැහැට ගැන යළි සිතා බලන්නට අප යොමු කරන්නට හැකි මෙවලමක් බව පෙන්වූ සිනමාකරුවන් අතරින් අයෙකි ඝටක්. නීතාගේ ඉල්ලීම හුදෙක් ක්ෂය රෝගය නිසා දිවි මග හැර යන්නට බල කළ තරුණියකගේ ඉල්ලීම තුළට සීමා නොවී, මියයමින් ජීවත් වන්නට සිදුව ඇති මහා මිනිස් සයුරක වේදනාබරිත ඉල්ලීමක් වන්නේ එබැවිනි.

ඔව්, සිනමාව ජීවිතය වෙනුවෙනි! ඒ ඉල්ලා හඬා වැටෙන මිනිසුන් ද වෙනුවෙනි!!

-          ප්‍රියන්ත ෆොන්සේකා -