Friday, March 31, 2017

ජීවිත ලැයිස්තුව

ජර්මන් නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍ර‍මණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි. පෝලන්තය දිනූ සිය හමුදාවන්ගේ බලයෙහි පිහිටෙන් එහි ඇරඹෙන නව කම්හල් සිය ජීවිතයේ ඉදිරිය තෘප්තකර කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. එහෙත්, නාසි පාලනය වෙත මුලින් එක්ව සිටිය ද, මනුෂ්‍යත්වයට නිගා දෙන, ඇදහිය නොහැකි අපරාධ මේ තනි මිනිසා කම්පනයට පත් කරයි. පෝලන්ත යුදෙව්වන් ගාල් කළ, ඔහු පරිපාලනයට සම්බන්ධ වන, ‘ක්‍ර‍කොව් ගෙට්ටෝ‘ හි ‘කර්මාන්ත ශාලා‘ කලාපය අවසන් ශක්ති බිඳ තෙක්ම යුදෙව්වන්ගේ සිරුරු සූරාගෙන ඔවුන් මරණය වෙත, මිනී කඳු පිරි භීම භූමි වෙත, තල්ලු කර හරින බව ඔහු දැනගනියි. එතැන් පටන් මේ තනි මිනිසාගේ අරගලය යොමු වන්නේ තමන්ට හැකි උපරිමයෙන් මරණයට නියමිත මිනිසුන්ගෙන් පිරිසක් හෝ ගලවාගැනීම වෙත ය. ඒ සඳහා ඔහු තනන්නේ ලැයිස්තුවකි. මරණය වෙනුවට ජීවිතය ගෙනෙන ‘ජීවිත ලැයිස්තුවකි‘!

1993 දී ලෝ ප්‍ර‍කට සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග් අතින් නිමවෙන උක්ත පුවත රැගත් චිත්‍ර‍පටය මිනිස් ඉතිහාසය තුළ හමුවන, අතිශය ගරු කටයුතු, ඇදහිය නොහැකි තරම් විශ්මිත, මානව දහම පෙරමුණෙහි තැබූ සත්‍ය කතාවක් පදනම් කරගෙන ඇත. ‘Schindler's List‘ (ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව) නමැති මෙම පුවත, සැබෑ ඉතිහාසය තුළ හමු වූ ඔස්කාර් ෂින්ඩ්ලර් නැමති ජර්මානුවාගේ ජීවිතය පදනම්ව ඕස්ට්‍රේලියානු කතුවරයකු වූ තෝමස් කෙනලි අතින් ලියැවුණු ‘Schindler's Ark‘ නම් නව කථාව ඇසුරින් නිමවූවකි.


සිය නිෂ්පාදන අවශ්‍යතා ඉටු කරගත් වහාම යුදෙව්වන් පොදි ලෙස ගෙන සමූල ඝාතනය කරන්නට කටයුතු කරන ජර්මානු එස්එස් හමුදාවේ ක්‍රියාකාරකම් ෂින්ඩ්ලර් සියැසින් දකින්නේ එහි දෙවැනි ලුතිනන්වරයකු වන ඒමන් ගොත්, ප්ලාසොව් ඉදිකිරීම් බිමට පැමිණ මරා දැමීම් මෙහෙයවන විට දී ය. ඉතාක් ස්ටෙය්න් නමැති සිය යුදෙව් ගණකාධීකාරීවරයා සමගින් එක්වන ෂින්ඩ්ලර් තමන් සෙවනෙහි වන යුදෙව්වන්ගේ ලේඛණයක් සාදන්නේ ලෝ ප්‍ර‍කට අවුෂ්ට්විස්ට් වධ කඳවුර වෙත ඔවුන් ගෙන යන්නට නොදී, දියමන්තිවලින් කඳවුරෙහි අණ දෙන්නාට කප්පම් ලබා දෙමින් බ්‍රින්ලිස්ට් නමැති කඳවුර වෙත ඔවුන් යොමු කරවමිනි. එයින්ද නොනවතින ඔහු මිත්‍ර‍ හමුදා ජර්මානුවන් පරදන තෙක්ම, සිය සන්තකයෙහි ඇති ධනය වැය කොට, මිනිස් ජීවිත රැක ගනු පිණිස කප්පම් ලබා දෙමින් පෝලන්ත යුදෙව්වන් සමූහයක් ආරක්ෂා කර ගනියි. මිනීමරු ගොත් ඇතුළු එස්එස් හමුදාව හමුවේ ඔහු සියල්ල සුරක්ෂිත කරගන්නේ ඉතා කල්පනාකාරීව ඔවුන් ඇසුරු කරමින් මාගැඟි තෑගිභෝගාදියෙන් ඔවුන් සනස්වමිනි.

ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍ර‍පටය ඇතුළු සම්මාන 7කින් පිදුම් ලැබූ ෂින්ඩ්ලර්ස් ලිස්ට්‘ තවත් සම්මාන උළෙල රැසකදීම නොමඳ ඇගයුම් ලැබී ය. ෂානර ගණනාවක සමාන විශිෂ්ඨතා දක්වමින් සිනමා බස මනාව හසුරුවන ස්පීල්බර්ග් සිනමා රූපය තුළට මනුෂ්‍යත්වය එක් කොට ලොවට විදාලූ මහරු කෘතියක් ලෙස මෙම චිත්‍ර‍පටය ඔහුගේ සිනමා නිර්මාණ පෙළෙහි ද පෙරමුණෙහි තැබිය හැක.

නාසිවාදියකු ලෙස කටයුතු කළ හෙයින්ම මිත්‍ර‍ හමුදා යුද්ධය දිනාගනිද්දී ඔවුන් වෙත භාර වීම පිණිස ෂින්ඩ්ලර් පිටව යන්නේ තවත් ජීවිත බේරාගන්නට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාප වෙමිනි. එහෙත් ඒ වන විටත් ඔහු සරණින් අභය දිනූ පිරිස එක් දහස් දෙසියයක පමණ වෙයි! ඔහුගේ ‘ජීවිත ලැයිස්තුව‘ එපමණ දිගු එකකි.

කළු-සුදු සිනමා කෘතියක් ලෙස නම් ලබන මුත් වර්ණය ඉතා සංකේතරූපීව සිනමා රූපය තුළ කටයුතු කරනු ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්‘ හි හමුවන්නේ සංගීතය, සංස්කරණය, රූප සංරචනය ආදී සෙසු අංගයන්හි ප්‍ර‍ශස්ත බවට අමතරව ය. කළු-සුදු රූප වියමන අතර, යුදෙව් ජන සමූහය අතර ඇවිද යන රක්ත වර්ණැති කබායකින් සැරසුණු බුහුටි දැරිය එක් උදාහරණයකි. එම රූපය අප කම්පනයට පත් කරන්නේ සමූහ ඝාතනය කළ මහ පිරිස් හමුවේ ඇගේ රක්ත වර්ණ කබාය පැළඳි මළ සිරුර ද හමුවන විට ය.

ජීවිතයක අමිල අගයයන් තුට්ටුවට දමමින් මහ මග මිනිසුන් මරා දැමෙන, නීතිය සුරකින පොලිසිය විසින් පුරවැසියන් නිකරුනේ මරා දමනු අසන්නට ලැබෙන ඛේදනීය සමයකට අවතීර්ණව සිටින යුගයක අතීතයෙන් අප වෙත එබෙන ෂින්ඩ්ලර් ‘ජීවිත ලැයිස්තුවක්‘ කෙසේ වුව, එක් මිනිසකුගේ හෝ ජීවිතය සුරකින්නට අපට ඇරයුම් කරනු ඔබට චිත්‍ර‍පටය නැරඹූ පසු හැඟී යනු ඇත. එය අප වෙත තබන්නේ ෂින්ඩ්ලර් වෙත යුදෙව් ජීවිතලාභීන් තෑගි කරන මුදුවේ ඇති මහරු වදනෙහි අරුතයි.

“යමෙකු එක් අයෙකුගේ හෝ ජීවිතය සුරකී ද ඔහු සමස්ථ ලෝකයම සුරක්ෂිත කළේ වේ!“


-ප්‍රියන්ත ෆොන්සේකා-   

Wednesday, March 1, 2017

බයිසිකලය

(රිවිර සිනමා කොලම- 19)


දෙවැනි ලෝක යුද්ධය නිමා වී ඇත. යුද්ධයේ අඳුරු සෙවණැලි කෙමෙන් වියැකී යමින් පවතී. රෝම නගරාසන්න වැල් මෙලෙයිනා හි වෙසෙන රිකි, සිය අදරැති බිරිද මරීනාගේත්, කුඩා සුරතල් පුතු බෘෘනෝගේත් කුස ගිනි නිවනු පිණිස සුළු හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් නගරය වෙත ගොසිනි. යුද්ධයේ භීම සමය විසින් උදුරාගත් ජීවිතවලට කෙසේ වුව, දිවි රැකුණු රිකිලාගේ ජීවිත නවමු භීමයකට ගොදුරු වෙමින් පවතින්නේ යුද්ධය නිසාවෙන් බිඳ වැටී සුණු ව ඇති ආර්ථිකය කිසිවකුට ජීවනෝපායයක් පිළිබඳ අදහසක් හෝ ඉතිරි කර නොමැති බැවිණි. රැකියා විරහිත සිය ගණනක් මිනිස් පොදි අතර සරමින් සිටිද්දී රැකියාවක අපේක්ෂාවක් රිකි වෙත ලැබේ. එයට සුදුසුකම් ලබන්නට ඔහු වෙත විය යුත්තේ බයිසිකලයකි! ඔව්.... මග පැද යන්නට තරම් හැකියාව ඇති පාපැදියකි!!

සිනමාව ලොව බිහිව දශක කිහිපයක් ඇතුළත ලෝක යුද්ධයන්ගේ ගිනි ලොව පුරා ඇවිල ගියේ ය‍. පළමු හා දෙවන ලෝක යුද්ධයන් සඳහා සෘජුව මැදිහත් වූ යුරෝපයේ රටවල් කිහිපයකම සිනමාව ද ලෝක යුද්ධයන්හි කුරිරු බව හා සැහැසි බව සමග සිය සිනමා කාච යුහුමුව දෙස ද යළි විමසුම් ඇස් හෙලුවේ ය. මනුෂ්‍යත්වය හා සදාචාර සම්පන්න සමාජ ජීවිතය ඉලක්ක කළ, ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් දෙස යළි හැරී බලන්නට යෝජනා කළ එම නව සිනමා ප්‍රවාහ අතර දෙවැනි ලෝක යුද්ධයේ අවසන් සමය හා පසුව ඉතාලියේදී නැගුණු ඉතාලි නව යථාර්ථවාදය ප්‍රමුඛතම සඳහනක් විය. ඉහත දැක්වූ සමාරම්භක රූප පෙළ අපට මුණගස්වන්නේ එම ප්‍රවාහයේ පුරෝගාමී සිනමා කතුවර විටෝරියෝ ඩි සිකාගේ ප්‍රධානතම කෘතිය ලෙස  ගැනෙන ‘The Bicycle Thieves’ (බයිසිකල් හොරු) සිනමා කෘතියයි. 1948 වර්ෂයේදී ප්‍රේක්ෂකයා හමුවට ආ ‘ද බයිසිකල් තීව්ස්’ ඔස්කාර් සම්මාන උළෙලේදී ගරු සම්මානයක් ඇතුළු සම්මාන රැසක් දිනා ගත් අතර එතෙක් සිනමාව තුළ හමු නොවුණු බොහෝ නව්‍ය ලක්ෂණ සිනමා ලොවට දායද කළ ‘ඉතාලි නව යථාර්ථවාදයේ’ මූලිකාංග ගණනාවක් යළි ස්ථාපිත කර දුන්නේ ද විය. පසුකාලීන ලෝක සිනමාවට බරපතල ලෙස බලපෑම් කළ එම ලක්ෂණ අතර තරු නොවන, ආධුනික නළු නිළියන් චරිතාංග නිරූපණය කිරීම, චිත්‍රාගාරයෙන් බැහැර වී අදාල දර්ශන තලය වෙත ම පිවිස රූගත කිරීම, දිවාලෝකය හා වැඩිව බැඳෙන බාහිර දර්ශන භාවිතය, අවමතාවාදී ලක්ෂණ ප්‍රකට කිරීම, සම්මත ‘වීරයා සහිත’ ආඛ්‍යානයෙන් බැහැර වීම ආදිය වේ.



රිකිගේ රැකියා සිහිනය දිනාගනු පිණිස පාවිච්චි කළ පැරණි බයිසිකලයක් මිලට ගනු වස් තමන් සන්තක, දායාදයෙන් ලද අගනා පොරෝනා කුණු කොල්ලයට විකුණන මාරියා බයිසිකලය ලද පසු අනාවැකි කියන පේනකාරිය වෙතද මුදලක් රහසින් ලබා දෙන්නේ රිකිට රැකියාවක් ලැබෙනු ඇතැයි ඇය කී අනාවැකිය සඵල වන බැවිනි. රිකි ඒ දැන ඇය‍ට දොස් නගන්නේ අතිශය අසීරු මොහොතක අනුවණ කටයුත්තකට මුදල් නාස්ති කළ බව සඳහන් කරමිනි.

රිකිගේ රැකියාව චිත්‍රපට ‍පෝස්ටර ඇලවීමයි. බයිසිකලයෙන් පෝස්ටර හා ඉනිමගක් රැගෙන නගරය පුරා සරන රිකි පසෙකින් යුද්ධයේ බිහිසුණු බව සලකුණු කරමින් බිඳ වැටී ඇති ගොඩනැගිලි සහ අනෙක් පසින් යළි නැගෙන නව ගොඩනැගිලි සහිත වීදිවල හොලිවුඩ් සිනමාවේ සුරූපී නිළියන්ගේ රූ සහිත පෝස්ටර අලවයි. මිත්‍ර හමුදා විසින් දිනා දුන් නව ලෝකය තුළ හොලිවුඩ සිනමාවේ ආක්‍රමණය සිදුවෙමින් පවතී. එහෙත් සියල්ලට ඉහළින් වන විරැකියාව හා කුසගින්න, රිකි මෙන්ම තවත් රැකියා විරහිතව උන් පිරිසකගේ තීරණයක් පෙරමුණ‍ට කැඳවයි. එම පිරිස පෝස්ටර ඇලවීම සඳහා ඉනිමගට නැග සිටින රිකිට හඹා යෑමට කාලයක් නොතබා අසුරු සැණකින් රිකිගේ බයිසිකලය පැහැර ගනියි.

පාසැලට යා යුතු මුත් පාසැලට වඩා අහර දිනීම ප්‍රධාන නිසා ඒ සටනට ද උර දෙන්නට පැමි‍ණෙන කුඩා බුහුටි පුතු බෲනෝ සහ බිරිද මාරියා සමග විටෙක වෛරයෙන් නගරවැසි සැකකරුවන් හඹා යමින් දවිටෙක ශෝකයෙන් හඩමින් ද රිකි බයිසිකලය සොයා යයි. සිය දරුපවුල හා ජීවිතය යන්තමින් හෝ ගැටගසාගන්නට පළමු පය එසැවූ මොහොතේම සිදුවුනු ව්‍යසනය රිකි වෙත වූ සියලු තර්කනයන් පවා නසා දමන්නට තරම් වූ බව අප කම්පිත හදවතින් යුතුව වටහා ගන්නේ මරියා ගොඩ වැදුණු බව දැන බැණ වදින්නට ද මුල් වූ පේනකාරිය වෙත ද ඔහු  පිය ඔසවන බැවිණි. යුද්ධය‍‍‍.... ඔව්! එය සියලු පුරුෂාර්ථ වළ දමා ඇත‍. කුසගින්න, සියල්ලට පෙරමුණෙන් රිකි ඇතුළු සැම දෙස බලා සිටියි.

බයිසිකලය සොරාගත් තැනැත්තා බවට රිකිට බොහෝ සේ සැක කළ හැකි තරුණයකු සියලු සෙවුම් බැලුම් කෙළවර ඔහුට මුණගැසේ. පොලිස් නිලධාරියෙකුගේ ද සහායෙන් ඔහුගේ නිවස විමසා බැලුව ද බයිසිකලය ඔහුට මුණ නොගැසේ. අත එල්ලී යන කුඩා පුතු බෲනෝ ද සමගින් ඔහුට පෙනෙන්නේ ඔහු හා සමාන දුෂ්කර ජීවිතවලට මුහුණ දෙමින් සිටින තවත් අයෙකි; නොඑසේනම්, තවත් ජන සමූහයකි.

තිරයේ සරන, සියලු පිරිපත නසා දමන ‘වීරයෙකු’ මුණ ගැසෙන, ආඛ්‍යානය කෙළවර ජය නියතව දිනාගන්නා, මහා සිනමා ධාරාවේ කථා ශරීරය මතු නොව දෘෂ්ටිවාදයත් බැහැර කළ ‘ඉතාලි නව යථාර්ථවාදය’ යෝජනා කරන, අප අභියස ඇති සමාජ යථාව වටහා ගැනීම‍ට මග සාදන, ‘ද බයිසිකල් තීව්ස්’ හි රිකි‍ගේ කතා පුවතෙහි අවසානය විමසන්නට සිනමා කෘතිය සොයායන්නැයි මම ඔබට ආරාධනා කරමි. ලෝකයේ තවත් රටවල් ගණනාවක මෙන්ම මෙරට සිනමාවට ද සෘජුව බලපෑම් ලද සුවිශිෂ්ඨ සිනමා ධාරාවක ආලෝකය ඔබ එහිදී හඳුනාගනු ඇත‍.

- ප්‍රියන්ත ෆොන්සේකා -